සයිබර් ආරක්ෂාවට රජයේ ආයතනවලට ප්‍රධාන ඩිජිටල් නිලධාරීන්

සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල්කරණය ශක්තිමත් කිරීමේ අරමුණින් අමාත්‍යංශය සහ රාජ්‍ය අංශයේ ආයතන සඳහා ප්‍රධාන ඩිජිටල් නිලධාරී තනතුරක් ඇති කිරීමට පියවර ගන්නා බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි.

මේ සදහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැනි ආයතන වල සහයෝගය ද ලබා ගනු ඇත.

ඇමතිවරයා කියා සිටියේ ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් පසුගිය වසරේ දී හදුන්වා දීමට රජය පියවර ගත් බවයි. ඒ අනුව වසර 2030 දක්වා එය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය හිමිව තිබුණි.

සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සංවිධාන කළ සය මාසික පුහුණුව අවසානයේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පසුගියදා පැවැති සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ තොරතුරු කියා සිටියේය.

රාජ්‍ය ආයතන 37ක නිලධාරීන් 60ක් සහ මාධ්‍යවේදීන් 40ක් වෙනුවෙන් මෙහිදී සහතික පත් ප්‍රදානය සිදු විය. සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් සඳහා මෙවැනි සය මාසික පුහුණුවක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වේ.