හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අද (15) පූර්ව භාග 10.17ට යෙදී තිබේ.

සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම සුදුසු බව ජෝතිෂ්‍යයේ දැක්වේ.

මෙවර හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය වත්තල හැඳල පුරාණ රජමහා විහාරයේදී පැවැත්වේ.

මේ අතර, අප්‍රේල් 18 වැනිදාට යෙදෙන පැල සිටුවීමේ නැකතට සමගාමීව මුරුංගා දිනයක් ප්‍රකාශයට පත් කර බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

ඒ අනුව එදිනට අධිපෝෂණීය මෙන්ම ඉහළ ඖෂධීය වටිනාකමකින් යුත් මුරුංගා ශාකය තම ගෙවත්තේ පැළ කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

හිසතෙල් ගෑමේ උත්සවය සඳහා අවශ්‍ය නානු සහ සිංහල අලුත් අවුරුදු ලිත දේශීය වෛද්‍යවරුන්ට සහ සියලුම විහාරස්ථාන වෙත ලබාදීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවත් පැළ සිටුවීම සඳහා අවශ්‍ය මුරුංගා පැළ 18 වැනිදා ගංගාරාම විහාර පරිශ්‍රයේදී අවශ්‍ය අයට ලබාදෙන බවත් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් කීය.