වසර 2047දී ඉන්දියාවෙන් න්‍යෂ්ටික බලශක්තිය මෙගාවොට් ලක්ෂයක ඉලක්කයක්

වසර 2047 වන විට න්‍යෂ්ටික බලය මෙගාවොට් ලක්ෂයක් උත්පාදනය කිරීම ඉන්දියාවේ අපේක්ෂාව වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය දැනට එරට පවතින මෙගාවොට් අටදහසට වඩා අතිවිශාල උත්පාදනයක් වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඉන්දියාවේ පරමාණුක ශක්ති කොමිෂන් සභාවේ සභාපති ඒ.කේ. මොහාන්ටි ප්‍රකාශ කර ඇත්තේ වසර 2047 වන විට ගිගාවොට් 100 න්‍යෂ්ටික ධාරිතාවකට ළඟාවීමේ හැකියාව ඉන්දියාවට ඇති බවය. ඒ සඳහා එරට පරමාණුක බලශක්ති දෙපාර්තමේන්තුව මගින් සැලසුම් සකස් කරමින් සිටින බවද වාර්තා වේ.

ඉදිරි දශක තුන ඇතුළත ගල් අඟුරු භාවිතය සැළකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට සැලසුම් කරන්නේ නම් පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා සහාය වීමට යටිතල පහසුකම්වලට අමතරව න්‍යෂ්ටික බලය වැනි විකල්ප ප්‍රභවයන් සඳහා ප්‍රමාණවත් යටිතල පහසුකම් ගොඩ නැඟීම අත්‍යවශ්‍ය වී ඇතැයි ද, ඉන්දියානු රජයේ ප්‍රධාන විද්‍යා උපදේශන කාර්යාලය මගින් ඒ සඳහා අරමුදල් සපයනු ලබන බව ද ඉන්දියාවේ පරමාණුක ශක්ති කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.