පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව පදක්කම් අභිශේකාභිමාන මංගල්‍යය-2024

ව්‍යවසායකත්වය පාසලෙන් ඇරැඹීමේ අරමුණ පෙරදැරිව කර්මාන්ත අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකම පාසල්වල “පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව” ආරම්භ කරනු ලැබීය. 2023 ජුනි 27 වැනි දින කොළඹ නාලන්දා විද්‍යාලයේ දී එහි සමාරම්භය සනිටුහන් කෙරිණි. එම ජාතික වැඩසටහනෙහි “පාසල් කර්මාන්ත ව්‍යවසායක පදක්කම් අභිෂේකාභිමාන මංගල්‍යය” මාර්තු 22 වැනි දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

මේ වන විට මේ ව්‍යවසායකත්ව කව සමඟ පාසල් 365ක ව්‍යවසායකත්ව පුහුණු ගුරුවරුන් 1000ක් සහ පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව 500ක් පමණ පිහිටුවා තිබේ. ඒවායෙන් රටට දායාද කෙරෙන අනාගත ව්‍යවසායක පරපුරට පාසල්වලින් සිසු සිසුවියන් 12,300කට අධික සංඛ්‍යාවක් එක්ව සිටී. වසරකට අඩු කාලසීමාවකදී මෙතරම් විශිෂ්ට ප්‍රගතියක් අත් කර ගනිමින් රටේ සංවර්ධනයට ඍජුවම දායක වන පිරිසක් පාසලෙන් බිහි කිරීමට මූලාරම්භය සැපයීම සම්බන්ධයෙන් මේ ව්‍යාපෘතියේ සංකල්පධාරි සෞඛ්‍යය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අදහස් දක්වා සිටියේ මෙලෙසිනි.

“වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත ව්‍යවසායකත්ව කව වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ කර්මාන්ත අමාත්‍යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් ක්‍රියාත්මකයි. එය ඉතාමත්ම සාර්ථක වැඩසටහනක් බවට මෙය පත් කර ගන්න ඇප කැප වුණු දරුවන්, විදුහල්පතිවරුන් ඇතුළු ගුරු භවතුන් හා නොයෙක් අයුරින් උදව් උපකාර කළ මවුපියන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. සිසු දරු දැරියන් 12,000කට අධික පිරිසක් මේ අනුව අපි සමඟ සක්‍රියව මේ වැඩපිළිවෙළ සමඟ එක්ව සිටිනවා.