අද කාලගුණ නිවේදනය

(13) දිනයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන අතර, ප.ව. 2.00 න් පමණ පසු උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍ය‍ා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

එමෙන්ම සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින අතර, (13) දහවල් 12:10 ට කුමුලමුනෙයි, මුරිකන්ඩි, කෙරිදමඩු සහ තන්නියට්ටුයන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ.