සුචරිත සමාජයක් ගොඩ නැගීම සඳහා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් යෝජනා මාලාවක්

පොදු ජන යහපත පිණිස සුචරිත සමාජයක් ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත ජනාධිපති කාර්යාලයේදී (09) භාර දෙනු ලැබීය.

ආගමික අධ්‍යාපනය වර්තමානයේ දැඩි ලෙස සෝදා පාළුවකට ලක් වී ඇති බවත් ඒ හරහා අපරාධ රැල්ල සමාජය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් පෙන්වා දෙමින් සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජිත ස්වාමීන්වහන්සේලා විසින් මෙම යෝජනා මාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය පිණිස ඉදිරිපත් කර තිබේ.

පිරිවෙන් ආරම්භ කිරීම, ධර්මාචාර්ය විභාගය සමතුන්ට ගුරු සහායක පත්වීම් ලබාදීම, විද්‍යාපීඨ අරම්භ කිරීම වැනි පියවර ගනිමින් වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු, අමාත්‍යවරයකු මෙන්ම අගමැතිවරයෙකු ලෙසද ඉතිහාසය තුළ ආගමික අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් සිදු කළ මෙහෙවර මෙහිදී සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ඇගයීමට ලක් විය.

ශිෂ්‍ය ප්‍රජාවට දහම් පාසැල් අධ්‍යාපනය අනිවාර්ය ලෙස හැදෑරීමට අවකාශ සැලසීම, බෞද්ධ ධර්මාචාර්ය සමත් දහම්පාසැල් ගුරුවරුන් පාසැල් හෝ පිරිවෙන් ගුරු සහායකයන් ලෙස බඳවා ගැනීම, පූජාභූමි ඔප්පු ලබා දී නොමැති විහාරස්ථාන ඉඩම් සඳහා පූජාභූමි ඔප්පු ලබාදීමට කටයුතු කිරීම සහ ජාතික හා ජාත්‍යන්තර ථෙරවාදී බුදුදහමට එල්ල වෙමින් පවතින තර්ජන හඳුනා ගැනීම සහ ඊට අවශ්‍ය පියවර ගැනීම යන කරුණු මෙම යෝජනාවලිය තුළින් අවධානයට ලක් කර තිබේ.

එසේම රටේ යහපැවැත්ම හා ආගමික පුනර්ජීවනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, ප්‍රාදේශීය සංවර්ධන කටයුතු වලදී අදාළ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලවල සහාය ලබාගැනීමට අවශ්‍ය පියවර ගැනීමට අදාළ යෝජනා ද ඊට ඇතුළත්ය.

ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවලින් බහුතරයක් රටේ පවතින නීතිරීති හා අනපනත්වලට යටත්ව ක්‍රියාත්මක කිරීම සඳහා මේනවිටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඇතැම් ක්‍රියාමාර්ග ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානයට යොමු කරන බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මෙහිදී සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙන්වා දුන්නේ දිවයින පුරා ජයභූමි, ස්වර්ණභූමි වැනි බලපත්‍රලාභී ඉඩම් හිමියන් සඳහා ‘උරුමය’ ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබාදිමේ වැඩ පිළිවෙලක් මේ වන විටත් ජනාධිපතිවරයා විසින් ක්‍රියාවට නංවා ඇති බවයි.

තවද මේ වන විට ක්‍රියාත්මක කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සහ කඳුකර දශකය සංවර්ධන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා, අදාළ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලවල නිර්දේශයන් ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම මෙසේ ඉදිරිපත් කරනු ලබන ගැටළු විසඳීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කමිටුවක් පත් කර ඇති බවත් එම කමිටුවෙන් ඉදිරිපත් කරන ලද යෝජනා නිසි ලෙස අධ්‍යයනය කොට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නුදුරේදීම ඉදිරිපත් කෙරෙන බවත් සමන් ඒකනායක මහතා පැවසීය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාරද මෙහිදී අදහස් දැක්වීය.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ද නාහිමි, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ උප සභාපති ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වීය ලේඛකාධිකාරී මහාචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද නාහිමි ඇතුළු දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල නියෝජනය කරමින් ගෞරවනීය ත්‍රෛනිකායික ස්වාමීන්වහන්සේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. පී රත්නායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News