අනුර හා සජිත් අතර සමස්ත අර්බුදයෙන් රට ගොඩගැනීමේ මාවත පිළිබඳ විවාදයකට සූදානම් – වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳ වැරදි සහගත තොරතුරු ඇතැම් පුද්ගලයින් විසින් සමාජ ගත කිරීමට උත්සාහ දරමින් ඇති බව වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

දෙපාර්ශ්වය අතර විවාදයක් පිළිබඳ පළමු කථාබහ නිර්මාණය වන්නේ රූපවාහිනී වැඩසටහනකදී ​අනුර කුමාර දිසානායක විසින් රටේ සංවර්ධන මාවත පිළිබඳව සජිත් ප්‍රේමදාස සමග විවාදයකට සූදානම් බවට කරන ලද ප්‍රකාශය සමඟ බවයි එම ඔහු සඳහන් කළේ.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා එම විවාදය පිළිබඳ අභියෝගය භාර නොගත් අතර පසුව ඒ වෙනුවට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය සමග ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවාදයක් කිරීම පිළිබඳ මාතෘකාවක් ඉදිරිපත් කර ඇති බව ඔහු පෙන්වා දෙනවා.

කෙසේ නමුත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර රට වැටී ඇති සමස්ත අර්බුදයෙන් ගොඩගැනීමේ මාවත පිළිබඳ විවාදයක් පැවැත්වීමට ජාතික ජන බලවේගය සූදානම් බව ඔහු අවධාරණය කරනවා.

යම් හෙයකින් එවැනි විවාදයකට සමගි ජන බලවේගය සූදානම් නොමැතිනම් හා ඒ අනුව එවැන්නක් නොපැවැත්වෙන්නේ නම්, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය, සමගි ජන බලවේගයේ ඒ හා සමාන නියෝජනයක් දරණ කණ්ඩායමක් සමඟ විවාදයක් පැවැත්වීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.