ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මකයි

  • ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් දිළිඳු ජනතාව සවිබල ගැන්වීමට රුපියල් බිලියන 200 ක සමාජ ආරක්ෂණ ජාලයක්.
  • 2023 වසරේ දී පමණක් රුපියල් බිලියන 200කට ආසන්න මුදලක් ගෙවා අවසන්.
  • 2024 මාර්තු 31 වනදා වන විට අස්වැසුම ප්‍රතිලාභීන් 1,854,308 ක්.

ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2023 වසරේ දී පමණක් රුපියල් බිලියන 200කට ආසන්න මුදලක් ගෙවා ඇති බව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය.

2024 මාර්තු 31 වන විට අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,854,308 ක් බවද සඳහන් කළේය .

ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් මේ බව සඳහන් කර සිටියේ (08) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජිත කීර්ති තෙන්නකෝන් මෙසේද පැවසීය,

2021 සහ 2022 වසරවල දැඩි ආර්ථික අපහසුතාවයන් ගෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම රජය සිය වගකීමක් ලෙස සලකණු ලබනවා. සමෘද්ධි ආධාර,සමෘද්ධි ණය, වයස 70 වැඩි වැඩිහිටියන් සඳහා වන දීමනාව,වසර 100 වැඩි වැඩිහිටියන් සඳහා වන දීමනාව, ආබාධිතයින් සඳහා වන දීමනාව, වකුගඩු ආබාධ සහිත රෝගීන් වෙත ලබාදෙන දීමනාව සහ අස්වැසුම දීමනා ලෙස 2023 වසරේ දී පමණක් රුපියල් මිලියන 184,098.27 ක මුදලක් රජය විසින් අවශ්‍යතා සහිත පිරිස් වෙත ලබාදී තිබෙනවා. තව ද, අස්වැසුම අභියාචනා සහ හිඟ මුදල් ද සමඟ 2023 වසරේ සමාජ ආරක්ෂණ ජාලය වෙනුවෙන් රජය වැය කළ මුළු මුදල රුපියල් මිලියන 189,650.95 (බිලියන 189.6) ක් පමණ වනවා.

අස්වැසුම පළමු වටයේ දී සහන නොලැබූ පිරිස් වෙත 2024 පෙබරවාරි මස රුපියල් මිලියන 1813 ක සහන සලසා දෙනු ලැබුවා. ඊට අමතරව අස්වැසුම අභියාචනා සලකා බැලීමෙන් පසුව තවත් රුපියල් මිලියන 13,697.35 ක මුදලක් දිළිදු ජනතාව වෙත ලබා දී තිබෙනවා.

සමෘද්ධි ණය වශයෙන් ලබාදුන් මුදල ද සමඟ 2023 වසරේ සමාජ ආරක්ෂණ ජාලය සඳහා රජය වැය කළ මුළු මුදල රු. මිලියන 199,608.62 ක් වනවා. එනම් රුපියල් බිලියන 200 කට ආසන්නයි.

2022 ජූලි මස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමේන් පසුව 2023 දෙසැම්බර් (මාස 17 තුළ) දක්වා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 129.93ක් ලබාදී ඇති අතර, එහිදී සමෘද්ධි සහනාධාර ලෙස රුපියල් බිලියන 65.91 ක් දිළිඳු ජනතාව වෙත ලබා දී තිබෙනවා. සමාජ ආරක්ෂණ ගෙවීම් වෙනුවෙන් (උපත්, විවාහ, මරණ, රෝග, සිප්දොර ශිෂ්‍යත්ව, නිවුන් දරු උපත්) ලබා දී ඇති මුදල රුපියල් බිලියන 4.52ක් වනවා. මීට අමතරව සමෘද්ධි බැංකු ණය වශයෙන් රුපියල් බිලියන 59.5ක මුදලක් ද එම කාලසීමාව තුළ ලබාදී තිබෙනවා.

එසේම මේ වසරේ දී පාසල් දරුවන් සඳහා පෝෂණ වැඩසටහන්, ගැබිණි මව්වරුන් සඳහා ආධාර වැඩසටහන් ද, නොමිලයේ සහල් කිලෝ 20 බැගින් දිළිදු පවුල් වෙත ලබාදීම ද රජය මඟින් ක්‍රියාත්මක කර තිබෙනවා. කාන්තා දිනයේ දී ගරු ජනාධිපතිතුමා විසින් ආරම්භ කළ “ලිය සවිය” ණය වැඩසටහන යටතේ 12% පොලියට ණය බරින් පෙළෙන කාන්තාවන්ට සහන සැලසීමට පියවර ගනු ලැබුවා.

මීට පෙර ක්‍රියාත්මක වූ ජනසවිය, සමෘද්ධිය වැනි වැඩසටහන් හි සිදු වූ දුෂණ, අකටයුතුකම් හා නිලධාරීවාදය ඉවත් කර සමාජ ආරක්ෂණයේ මුලිකාංග හා බැඳුණු වැඩපිළිවෙලක් ගොඩනැගීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දැනට රටේ ක්‍රියාත්මක විවිධ සමාජ ආරක්ෂණ වැඩසටහන් 30 කට වැඩි සංඛ්‍යාවක විනිවිදභාවයක් සහිතව ක්‍රියාත්මක කිරීම රජයේ සැලසුම වී තිබෙනවා.

ලෝක බැංකුව විසින් අස්වැසුම වැඩසටහන සඳහා ඩොලර් මිලියන 200 ක ණයක් ලබා දී ඇති අතර එය වසර 5 ක සහන කාලයක් ද සහිතව වසර 30කින් ආපසු ගෙවිය යුතුයි. 2024 මාර්තු 31 වන විට අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,854,308 ක් වන බව ද කිව යුතුයි.