දීඝවාපි මහ සෑ ධාතූ වන්දනා අනුරපුර පූජා නගරයට

දීඝවාපි මහ සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර හමු වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍යය සැදැහැවත් ජනීජනයාගේ වන්දනාමානය සඳහා අවස්ථාව සලසාදීමේ අරමුණින් සිදුකරන “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” පසුගියදා ඓතිහාසික අනුරාධපුර පූජා නගරය වෙත වැඩම කෙරිණි. මාර්තු 18 වැනිදා සිට අප්‍රේල් 05 වැනිදා දක්වා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්මැලි මහා සෑය සහ සඳහිරු සෑ පරිශ්‍රයන්හිදී මෙම පූජනීය වස්තු ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව අනුරාධපුරයේ ජනතාවට වන්දනාමානය සඳහා අවස්ථාව සලසාදීමේ අරමුණින් අනුරාධපුරයේ තවත් ප්‍රදේශ කිහිපයකට මේ පූජනීය වස්තු වැඩම කරවීමට කටයුතු සුදානම් කර ඇත. සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය අප්‍රේල් 5 හා 6 දිනයන්හි රැබෑව බෞද්ධ මධ්‍යස්ථානයේ දී ප්‍රදර්ශනය කෙරෙන අතර 7 හා 8 දිනයන්හිදී මැදවච්චිය භාරතීන්ද්‍ර බෞද්ධ මධ්‍යස්ථානයේදී ද, 9 වැනි දින කැබිතිගොල්ලෑව වෙහෙරගම පුරාණ රජමහා විහාරස්ථානයේදී ද, අප්‍රේල් 10 වැනි දින හොරොව්පතාන ශ්‍රී ස්වර්ණතිලකාරාමය විහාරස්ථානයේදී ද මහජන වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර ඇත.