ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවට පවරයි

ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාවට පවරා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, ඇහැලේපොළ වලව්ව සහ ඊට අයත් භූමිය පූජා ඔප්පුවක් මඟින් ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

2024-02-19 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී ගනු ලැබ ඇති තීරණයක් පරිදි, ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ඇමැති මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්ට දැනුම් දී තිබේ.

ඒ අනුව, ඉදිරිපත් කර ඇති වාර්තාව මඟින්, ඇහැලේපොළ පවුල ප්‍රමුඛ කර ගනිමින් වසර සිය ගණනකට එපිට පැවැති මහනුවර රාජධානියේ ශ්‍රී විභූතිය හා එම පරිසර පසුබිම නිරූපණය වන අයුරින් මෙම ගොඩනැඟල්ල තුළ ඉටි රූප කෞතුකාගාරයක් පිහිටුවීමටත්, එමඟින්, එම ඉතිහාසය පිළිබඳ තොරතුරු වර්තමාන ජන සමාජය වෙත වඩාත් ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කිරීමට සහ දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය ඇති කිරීමත් අරමුණු කර ගනිමින් ශ්‍රී දළදා මාළිගාව විසින් ඇහැලේපොළ වලව්ව ආශ්‍රිතව ව්‍යාපෘතියක් සකස් කරනු ලැබ ඇත. එබැවින් අදාළ ගොඩනැඟිල්ල ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දීම සුදුසු බවට නිර්දේශ කර තිබේ.