පාතාලය මඬින්න බස්නාහිරට-ගාල්ලට පොලිසියේ සීයයක යතුරුපැදි බළකායක්

පාතාලය මැඬලීමේ කාර්ය සඳහා බස්නාහිර හා ගාල්ලට යෙදවීමට පොලිසියේ සිය දෙනෙකුගෙන් සමන්විත යතුරුපැදි බළකායක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේය.

එම යතුරුපැදි අධිබලැති ඒවා බවත් අපරාධකරුවන් පලා යන විට ඒ පසුපස ක්ෂණිකව පන්නාගොස් කොටුකර ගැනීමට පහසුවක් වන්නේ යතුරුපැදි බැවින් මෙම බළකාය ස්ථාපිත කෙරෙන බව ද නිහාල් තල්දූව මහතා කීය. මේ සඳහා පොලිස් නිලධාරීන් බඳවා ගැනීමට පරීක්ෂණ පැවැත්වෙන බවත් තෝරාගන්නා එම නිලධාරීන් 100 දෙනා පොලිස් විශේෂ කාර්ය බළකායට තාවකාලිකව අනුයුක්ත කර අවශ්‍ය පුහුණුව ලබා දී මෙහෙයුම් සඳහා යොමු කරන බවත් නිහාල් තල්දූව කීය.

මෙම යතුරුපැදි බළකාය යෙදවෙන්නේ මේ වන විට පාතාල අපරාධ මර්දනයට යොදවා ඇති කණ්ඩායම් 20ට අමතරව එම කණ්ඩායම්වලට සහයෝගයක් ලෙස බව ද නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළේය.