එළඹෙන උත්සව සමය සඳහා කිසිඳු හිඟයකින් තොරව, අඩු මිලකට එළවළු වැනි දේශීය හා ආනයනික භාණ්ඩ ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
ඉන්දියාව හා පාකිස්තානය ලූනු අපනයනය නතර කිරීමත් සමඟ චීනය වැනි රටවල්වලින් ලූනු ආනයනයට රජය යොමු වූ බවත්, විකල්ප භාවිතයක් ලෙස රෝස ලූනු නමැති මධ්‍යම ප්‍රමාණයේ ලූනු ආනයනයට රුපියල් 80ක්ව පැවැති ආනයනික බද්ද රුපියල් 10 දක්වා අඩු කළ බවත් ඇමැතිවරයා සඳහන් කළේය. රු. 70ක 75ක පමණ මිලකට ඉහළ යෑමට තිබූ බිත්තර මිල මෙලෙස අඩු කිරිමට හැකිවූයේ ආණ්ඩුවේ මැදිහත්වීමෙන් බවද හෙතෙම පැවසීය.
ආණ්ඩුවක් පවතින්නේ වෙළෙඳපොළට මැදිහත් වී මිල පාලනය කිරීම හරහා ජනතාවට සහන සලසා දීමට බවත්, ඒ අනුව රජය ඊට මැදිහත් වූ බවත්, වෙළෙඳපොළේ බිත්තරයක මිල රු. 40 ට වඩා අඩුවෙන් පවතින්නේ නම් තවදුරටත් බිත්තර ආනයනය කිරීම අවශ්‍ය නොවන බවද හෙතෙම කියා සිටියේය.