ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට පියවර

වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදෙන ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා (28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනයට අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අවන්ති පෙරේරා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

පරිසර යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමින් සඳහන් කර තිබුණේ භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් සඳහා වෙළෙඳසැල්වලින් ලබාදෙන ෂොපින් බෑග් හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුවන බවයි.

එම මලු සඳහා මුදලක් අය කළහොත් ඒවා භාවිතය අධෛර්යමත් වනු ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර සංවිධානය ඒ හරහා පරිසර හානිය අවම කර ගැනීමට හැකි වනු ඇති බවද සඳහන් කර තිබෙනවා.