වතු පාසල් සඳහා ගුරු සහයක පත්වීම් 2,535 ක් ලබාදීමට තීරණය කෙරේ

ස්ථාවර විසඳුම් ලබාදීම අභියෝගයක් වන අවස්ථාවලදී විකල්ප විසඳුම් තුළින් හෝ අධ්‍යාපන පද්ධතිය අඛණ්ඩව පවත්වා ගෙන යාම තම අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

වතු පාසල්වල විශාල ගුරු හිඟයක් තවමත් පවත්නා බවත් අධ්‍යාපන විද්‍යාපීඨ වලට පවා සුදුසුකම් සපුරන සිසුන් ඉතා අඩු බවත් උපාධිධාරීන් සිටින්නේද අතලොස්සක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ සඳහා විසඳුම් වශයෙන් දැනට ඌව සහ මධ්‍යම පළාතේ සිටින උපාධිධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීමට පියවර ගන්නා ලෙස අදාළ පළාත් බලධාරීන්ගෙන් තමා ඉල්ලා සිටි බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහයකයින් 2,535 ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බවත් එළඹෙන මැයි මාසය වන විට එම පිරිස බඳවා ගැනීමට සහ මූලික පුහුණුවක් ලබා දී පාසල් වෙත යොමු කිරීමට අපේක්ෂිත බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.