පාස්කු ඉරිදා දේවස්ථානවල ආරක්ෂාවට විශේෂ වැඩපිලිවෙලක්

මහ සිකුරාදා (29) සහ (31) දිනට යෙදෙන පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පුළුල් ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

සියලුම කිතුණු දේවස්ථානවලට පැමිණෙන බැතිමතුන් සහ ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරිමේ විශේෂ වැඩපිළිවෙලක්ද ඇතුළුව දේවස්ථානවල ආරක්‍ෂාව වෙනුවෙන් පුළුල් සැලසුමක් ක්‍රියාවට නගන බවයි ඔහු සඳහන් කළේ.

සෑම පොලිස් වසමකම පිහිටි බැතිමතුන් වැඩි වශයෙන් පැමිණෙන දේවස්ථාන වෙත ගොස් අවශ්‍යය සැලසුම් සම්පාදනය කිරීමට ද පොලිසිය සැලසුම් කර තිබෙනවා.

එම සැලැස්ම යටතේ බැතිමතුන්ට හිරිහැරයක් නොවන පරිදි යම් පරීක්ෂාවන්ට ලක්කිරීම, දේවස්ථාන වෙත පැමිණෙන පුද්ගලයින් හා ගමන් මළු පරීක්ෂාවකට ලක්කිරීම ආදී වැඩ පිලිවෙලක් සැලසුම් කරන ලෙස පොලිස්පති වරයා උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.