කෙහෙළියට එරෙහි අල්ලස් නඩුවක මූලික විරෝධතා ප්‍රතික්ෂේප කෙරේ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය (26) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ඉදිරියටත් පවත්වාගෙන යාමට ද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අවසර ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉන් අනතුරුව නඩු විභාගය ජූලි මස 22 වනදා පැවැත්වීමටද දින නියම කර ‍තිබෙනවා.

2012 වසරේ මාර්තු මස 15 ම වසරේ අප්‍රෙල් මස 15 වනදා අතර කාලසීමාව තුළ එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගෙවිය යුතු රුපියල් 230,000ක පමණ මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළ දූෂණය නමැති වරද සිදු කළේ යැයි ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.