කුඩා හා මධ්‍ය ව්‍යාපාර නඟාසිටුවීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි – ඇමැති ප්‍රසන්න රණතුංග

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟාසිටුවීමට රජය මේ වන විට වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි.

ඔහු අවධාරණය කර සිටින්නේ එම වැඩසටහන් හරහා නව ව්‍යවසායකයින් රැසක් මෙරටට බිහි කිරීමට රජය බලාපොරොත්තු වන බවයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නංවාලීම සඳහා රජය විසින් ලබා දිය හැකි උපරිම දායකත්වය හා සහයෝගය ලබා දීමටද කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැති ප්‍රසන්න රණතුංග මේ බව කියා සිටියේ ගම්පහ, නයිවල ජයසිංහ සිටි සෙන්ටර් ආයතනයේ නව අවන්හල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි. උත්සවශාලා, ශ්‍රවණාගාර ඇතුළු පහසුකම් රැසකින් මෙම අවහන්හල සමන්විත වේ. සියලු උත්සව අවස්ථාවන් සඳහා ප්‍රණීත ආහාර පාන සැපයීමද මෙම අවහන්හල හරහා සිදු කෙරේ. එහි ඇති නවීන උත්සව ශාලාවේ එකවර 1000කට අසුන් ගත හැකිය.

ජයසිංහ සිටි සෙන්ටර් ආයතනය සාප්පු සංකීර්ණයකින්ද සමන්විතය. මෙහි පැමිණෙන ජනතාවට සියලු පහසුකම් එකම ස්ථානයකින් ලබා ගත හැක. ජයසිංහ සමූහ ව්‍යාපාරය යටතේ මේ වනවිට සේවක සේවිකාවන් 200කට ආසන්න ප්‍රමාණයක් සේවය කරනු ලබති.

ජයසිංහ සිටි සෙන්ටර් ආයතනයේ අධිපති අජිත් ජයසිංහ විසින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට සමරු තිළිණයක් පිරිනැමීමද මෙහි දී සිදු කෙරිණ.