අඹන් ගගේ අතුරුදන් වූ චන්ද්‍රම්ගේ සිරුර දින 3කට පසුව හමුවෙයි

ඇලහැර අඔන් ගගේ පාවෙමින් තිබූ මළසිරුරක් ජයසිරිපුර ගගේ යාය ගම්වැසියන් විසින් (24) උදේ සොයාගෙන ඇත. මේ පුද්ගලයා රත්නපුර කැටන් දොරවත්ත ගම්මානයේ පදිංචි එස්. චන්ද්‍රම් ශාන්ත කුමාර් නැමති 24 හැවිරිදි දෙදරු පියකු බව බකමුණ පොලිසිය කියයි.

ඉකුත් 22 දින හිතමිතුරන් 13ක් සමඟ කොළඹ සිට ඇලහැර අත්තනකඩවල ගම්මානයේ හිත මිතුරකු හමුවීමට පැමිණ ඇති බවත් එදින තවත් මිතුරන් තිදෙනකු සමඟ ජයසිරිපුර ගම්මානය අසල ඇති අඔන්ගඟට පැමිණ අඔන් ගඟ අසල නවාතැන් ගෙන ආහාර ගෙන විනෝද වෙමින් සිටි බව හෙළිදරව්වී ඇත. විනෝද වන අතරතුර මිය ගිය චන්ද්‍රම් ශාන්ත කුමාර් නැමැති අය දිය නෑමට ගඟට බැසීමෙන් පසු අතුරුදන්ව තිබිණි. දින තුනක් පමණ සොයා ගැනීමට නොහැකි වූ චන්ද්‍රම් ශාන්ත කුමාර් ඊයේ උදේ ජයසිරිපුර ගම්මානයේ ගම්වැසියන් සහ බකමුණ පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සිරුර ගොඩගෙන තිබේ. මේ මරණය පළිබඳ මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය හිගුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතය.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ද සිල්වා සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩලේ මහතුන්ගේ උපදෙස් පරිදි බකමුණ පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් බොලකඳුර පොලිස් සැරයන් 35670 රත්නායක පොලිස් කොස්තාපල් 12421 තෙන්නකෝන් යන මහතුන් මරණය පිළිබඳ පරීක්ෂණ පවත්වයි. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර පොලොන්නරුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ගෙන යෑමට නියමිතව තිබිණි