ඉරි කපන රියදුරන්ට දඩ කොළය ඩිජිටල් වෙයි

එළැඹෙන අප්‍රේල් 10 වැනිදා සිට මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳ තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

ඔහු පවසන්නේ දඩ මුදල් ගෙවීම් සිදු කරන තැපැල් කාර්යාල හරහා වරදේ ස්වභාවය, අදාළ පොලිස් ස්ථානය, රියදුරු බලපත්‍රයේ විස්තර සහ දුරකතන අංකය යන තොරතුරු මෙම දත්ත පද්ධතියට ඇතුළු කරන බවයි.

මේ අතර මෙරට රියදුරු බලපත්‍රය අවශ්‍ය විදේශිකයන්ට අප්‍රේල් 15 වැනිදා සිට ගුවන්තොටුපොළේදීම ඒ සඳහා අයදුම්කර රියදුරු බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මේ අතර රිය අනතුරකදී තුන්වන පාර්ශ්වයේ වින්දිතයන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබාදීමේ වැඩපිළිවෙළ මාර්තු 01 වැනිදා සිට ආරම්භ කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අනතුර සිදුවී වසරක් තුළ අදාළ රක්ෂණ ආයතනයට අයදුම් කිරීමෙන් උපරිමය රුපියල් ලක්ෂ 05ක් දක්වා වන වන්දි මුදල එම රක්ෂණ ආයතනයේ දිවයින පුරා පිහිටි ඕනෑම ශාඛාවකින් ලබාගැනීමේ හැකියාව ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.