අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 63%කගේ දත් දිරලා

මෙරට වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් සියයට 63ක් දත් දිරා යෑමට ලක්ව ඇති බව ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇත.

ලෝකයේ සුලභම රෝගය බවට හඳුනාගෙන ඇත්තේ දත් දිරා යෑමේ රෝගය බවත් මේ වන විට එම රෝගය හේතුවෙන් ලෝක ජනගහනයෙන් බිලියන 3.5 දෙනකු පීඩාවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ උප ලේකම් විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක පැවසීය.

මෙරට දරුවන් තුන්දෙනකුගෙන් එක් අයකු රාත්‍රියට නින්දට යෑමට පෙර දත් නොමදින බවට වාර්තා වී ඇතැයි ද හෙතෙම කීවේය. ‘සතුටු මුවයි – රුවැති සිරුරයි’ තේමාව කර ගනිමින් (20) යෙදී තිබූ ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිති කර ගනිමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

මෙරට පුද්ගලයකු වසරකට සීනි කිලෝග්‍රෑම් 39ක් පරිභෝජනයට ගන්නා බවට වාර්තා වී ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව එය තුන් ගුණයක වැඩි වීමක් වන අතර මුඛ රෝගයන්ට සීනි පරිභෝජනය බලපා ඇතැයි ද පවසුවේය.