වනිඳු යළි ටෙස්ට් කණ්ඩායමට කැඳවීම ගැන ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු

ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගෙන සිටි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හදිසියේම ටෙස්ට් සංචිතය සඳහා නම් කළේ ඔහුට එරෙහිව පැනවීමට තිබූ තරග තහනමෙන් ඔහුව ආරක්ෂා කර ගැනීමේ උපක්‍රමයක් ලෙස නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් වනිඳුට ටෙස්ට් තරග දෙකක තහනමක් පැනවීමට පසුගියදා ICC කටයුතු කර තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ වනිඳු හසරංග පසුගිය 16 වැනිදා Email පණිවිඩයක් හරහා තමන් ටෙස්ට් ක්‍රිකට් පිටියට යළි පිවිසීමට කැමැත්තෙන් පසුවන බවට ක්‍රිකට් ආයතනයට දැනුම්දී ඇති බවයි.

එමෙන්ම වනිඳු සති දෙකකට පමණ පෙර යළි ටෙස්ට් පිටියට පිවිසීමට කැමැත්තෙන් පසුවන බවට සඳහන් කර තිබූ බවත්, අවසන් එක්දින තරගයට පෙරම ඔහුව සංචිතයට ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික අජන්ත මෙන්ඩිස් ESPN Cricinfo වෙබ් අඩවියට සඳහන් කර තිබෙනවා.