කලාකරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරැකීමට සැකසූ දළ පනත් කෙටුම්පත අධිකරණ ඇමැති අතට

කලාකරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආර්ථික සහ සංස්කෘතික අයිතින් ආරක්ෂා කිරීමට සකස් කළ දළ පනත් කෙටුම්පත අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ,ආචාර්ය විජයදාස රාජපක්ෂට භාරදීම (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදි සිදු විය. ශ්‍රි ලංකේය කලාකරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආර්ථික සහ සංස්කෘතික අයිතින් ආරක්ෂා කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නව පනත් කෙටුම්පතක් සකස් කෙරිණි. එම පනත් කෙටුම්පත නීතිපති සහ නීති කෙටුම්පත් සම්පාදක වෙත කඩිනමින් යොමු කිරීමට කටයුතු කරන ලෙසත් මැයි මාසය වන විට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අධිකරණ ඇමැතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට මෙහිදී උපදෙස් දුන්නේය. කලාකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමෙන් කලාකරුවන්ගේ වෘත්තීයමය භාවය වැඩි දියුණු කිරීම හා ඔවුන්ගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම, උසස් කලා නිර්මාණ බිහිවීම අපේක්ෂා කරන අතර, ඒ සඳහා නව රෙගුලාසි පද්ධතියක් සකස් කිරීම කඩිනමින් කළයුතු බව අධිකරණ ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක ආචාර්ය හර්ෂ බී. අබේකෝන්ගේ මුලිකත්වයෙන් ප්‍රවීණ කලාකරුවන් විසින් දළ පනත් කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සඳහා කලාකරුවන්ට තම යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.නව දළ කෙටුම්පත සකස් කිරීම පිළිබඳව විවිධ කලා ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රවීණ කලාකරුවන්ගේ අදහස් හා යෝජනා ගැනීමේ සාකච්ඡා අවස්ථා කීපයකදී පැවැත්විණි.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක ආචාර්ය හර්ෂ බී. අබේකෝන්, ප්‍රවීණ කලාකරුවන් වන සමන් ද සිල්වා, රොහාන් ද සිල්වා, නදීකා ගුණසේකර, මනීෂා ශ්‍යාමලී, ඩග්ලස් සිරිවර්ධන, සුදත් රෝහණ ඇතුළු කලාකරුවෝ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ..