- ඊට අදාළ නව නීතියක් අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට.
- රජයේ මූල්‍ය පාලනය සඳහා ද නීතියක්.
- ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභ සියලු ජනතාවට හිමිවිය යුතුයි – ජනපති අවධාරණය කරයි.
ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බව ද අවධාරණය කළේය.
ඊට අදාළව නව නීතියක් ද මෙම අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එසේම රජයේ මූල්‍ය පාලනය සඳහා ද නීතියක් ගෙන එන බව පැවසූ ජනාධිපතිවරයා මෙම සියලු කටයුතු තුළින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම අරමුණ බව පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ කෑගල්ල, මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරස්ථානයේ ෙඑතිහාසික බෝධින් වහන්සේ වටා ඉදිකළ බෝධිඝරය සහ රන්වැට විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට (20) පෙරවරුවේ එක් වෙමිනි.
ශ්‍රී ලංකාව ණය ගෙවිය හැකි රටක් ලෙස නැවත ලෝකය හමුවේ සහතික කිරීමට අදාළ සාකච්ඡා මෙම ජූනි, ජුලි මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සමඟම බංකොළොත් රටක් යන නාමකරණය යටතේ අපට මෙතෙක් අහිමිව තිබූ විදෙස් ආධාර නැවත රටට ලැබීම ආරම්භ වන බවද පෙන්වා දුන්නේය.
එපමණක් නොව ශ්‍රී ලංකාව සමඟ ගනුදෙණු කිරීමෙන් වැළකී සිටි විදෙස් බැංකු සහ සමාගම් නැවත ගනුදෙණු කිරීම ආරම්භ වීමත් සමඟ රටේ මුදල් ප්‍රමාණය ඉහළ යාම තුළින් ආර්ථිකය ශක්තිමත් වන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සමඟ ජනතාවට තවදුරටත් සහන සැලසීමට අවස්ථාව සැලසෙනු ඇති බවද කියා සිටියේය.
පසුගිය ආර්ථික අභියෝගය හමුවේ රටේ සියලු ජනතාව පීඩාවට පත් වූ බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා එබැවින් ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභය ද කිහිප දෙනෙකුට පමණක් නොව සියලු ජනතාවට හිමිකර දීම අරමුණ බව ද අවධාරණය කළේය.
(20) පෙරවරුවේ කෑගල්ල, මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමරු ඵලකය නිරාවරණය කර අභිනව බෝධිඝරය සහ රන්වැට විවෘත කළ අතර අනතුරුව බෝධින් වහන්සේ උදෙසා සිදු කෙරුණු ප්‍රථම මල් පූජාව ද සිදු කළේය.
මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරාධිපති කෑගලු මහදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය වැලිවිට ශ්‍රී ජනානන්දාභිදාන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි, කඩවත පදිංචි ඉඩම් හිමි වැවිලිකරු ජගත් සුමිත්‍ර කරුණාරත්න සහ මල්ලිකා කරුණාරත්න යන දෙපළගේ ධන පරිත්‍යාගයෙන් මෙම අභිනව බෝධිඝරය සහ රන්වැට ඉදිකර තිබේ.
ජගත් සුමිත්‍ර කරුණාරත්න සහ මල්ලිකා කරුණාරත්න යන දෙපළ වෙනුවෙන් සමරු තිළිණ පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය,
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර එම වැඩකටයුතු කඩිනමින් අවසන් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. 2022 වසරේදී ලංකාව බංකොළොත් රටක් ලෙස නම් කෙරුණා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් සහ බැංකුවලින් අපට අධාර සහ ණය ලබාදීම නතර කළා. මුලින්ම අප මෙම තහනම ඉවත්කරගත යුතුයි. ඒ අනුව අප ණය ගෙවිය හැකි රටක් බව නැවත තහවුරු කළ යුතුයි.
රට ආර්ථික ගැටලුවලින් මුදා ගැනීමට වසරක් තුළ අප තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. මෙම ගැටලුව ඉදිරියට ගෙන ගියා නම් අපට තව වසර දෙක තුනක් දුක් විඳිමට සිදු වෙනවා. නමුත් පළමු පියවර ලෙස රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීමට රජය ආරම්භ කළ වැඩපිළිවෙළේ අවසාන කොටසට අප දැන් පැමිණ තිබෙනවා. අපට මේ වෙනුවෙන් පියවර රැසක් ගැනීමට සිදු වුණා. නමුත් ඉතා කෙටි කාලයකින් මෙම වැඩකටයුතු සාර්ථක කර ගැනිමට අප සමත් වුණා.
දැන් මෙම සාකච්ඡා අවසන් අදියරේ පවතින අතර හෙට දිනෙන් පසු එම සාකච්ඡා අවසන් කිරීමට අප බලාපොරොත්තුවෙනවා. ඉන් පසුව මෙරටට ණය ලබා දුන් රටවල් සමඟ සාකච්ඡා ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි. ඒ අනුව නිල වශයෙන් අපට ණය ලබා දුන් රටවල් සියල්ල එක් කර ගනිමින් ප්‍රංශය, ජපානය, ඉන්දියාවේ සභාපතිත්වය යටතේ එම සාකච්ඡා සිදු කරනවා.
ඒ වගේම මෙම සාකච්ඡා අවසන් කර අදාළ සාකච්ඡාවලට එක් වූ මෙරට කාර්ය මණ්ඩලය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය එක්ව මෙම සති අන්තයේදී කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹීමට ද අපේක්ෂා කරනවා. ඒ වගේම අප චීනය සමඟද සාකච්ඡා කරගෙන යනවා. එමෙන්ම පුද්ගලික ණය කරුවන් සමඟ සාකච්ඡා කිරීම ද මේ වන විට සිදු කෙරෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහබංකු අධිපතිවරයා නැවත යුරෝපයට ගොස් එම කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරිමට නියමිතයි.
ඒ අනුව අප බංකොළාත්භාවයෙන් නිදහස් යන ප්‍රකාශය නිකුත් කිරිමෙන් පසු ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ආයතනවල ඒකාබද්ධ සාකච්ඡාවක් අප්‍රෙල් මාසයේ දී පැවැත්වෙනවා. ඉන් අනතුරුව ඊට අදාළ ගිවිසුමට කඩිනමින් අත්සන් තැබීමට අපේක්ෂා කරනවා.
ජුනි, ජූලි මාස වන විට මේ සියලු කටයුතු අවසන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඉදිරියේ දී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බැවින් මෙම කටයුතු ඊට පෙර අවසන් කරගත යුතුයි. මෙම කටයුතුවලින් පසු අපට ණය ගෙවිය හැකි රටක් බවට ලෝකය හමුවේ සහතිකයක් ලැබෙනවා. එවිට මෙතෙක් අපට නොලැබුණු අධාර මුදල් නැවත අපේ රටට ලැබීම ආරම්භ වන අතර රටේ ඩොලර් ප්‍රමාණය ද වැඩි වෙනවා.
මේ වන විට බැංකු සහ සමාගම් ගණනාවක් අපත් සමග ගනුදෙනු කිරීමෙන් වැළකී සිටිනනවා. නමුත් මෙම කටයුතුවලින් පසුව ඔවුන් ද නැවත අප සමඟ ගනුදෙණු කිරීම ආරම්භ කරනවා. ඒ අනුව අපට තිබෙන මුදල් ප්‍රමාණය ඉහළ යන බව කිවයුතුයි.
අපි සියලු දෙනා පසු කළේ ඉතා අසීරු යුගයක්. මෙම තත්ත්වයෙන් මිදීමට දුෂ්කර තීන්දු තීරණ රැසක් ගැනීමට අපට සිදු වුණා. නමුත් මේ වන විට යම් සහනයක් ලබාදිය හැකි තත්ත්වයකට අප පැමිණ තිබෙනවා.
මේ වන විට රුපියල ශක්තිමත් වී තිබෙන අතර ජූනි මාසය පමණ වන විට ඩොලරයක මිල රුපියල් 280 දක්වා අඩු වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව භාණ්ඩවල මිල ගණන්වල අඩුවීමක් සිදු වෙනවා. ලබන වසර වන විට රුපියල මීටත් වඩා ශක්තිමත් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
කොපමණ ආර්ථික දුෂ්කරතා පැවතියත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අප පියවර ගත්තා. ඒ අනුව මෙම සිංහල දෙමළ අලුත් අවුරුද්ද වන විට රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩිවීමක් සිදු වෙනවා. එසේම සමෘද්ධිය මෙන් තුන් ගුණයක ප්‍රතිලාභ අස්වැසුම වැඩසටහන හරහා ජනතාවට ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ වගේම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව දහ අට ලක්ෂයේ සිට විසි හතර ලක්ෂයට වැඩි කර තිබෙන බව කිවයුතුයි.
මේ ආකාරයට බලන විට අප බංකෙළොත් රටක් ලෙස ජනතාවට ලබාදුන් සහනය, යහපත් ආර්ථිකයක් පැවති කාලයේ ලබාදුන් සහනවලට වඩා තුන් ගුණයක් වැඩි බව ඔබට පෙනෙනු ඇතියි. මේ සියලු කටයුතුවල අවසාන ප්‍රතිලාභය ලැබෙන්නේ රටේ ආර්ථිකයට. ඒ වගේම වසර දෙකක් පමණ විමධ්‍යගත අය වැය යොදා ගත්තේ නැහැ. දැන් එම මුදලක් ද අප මුදා හැර තිබෙන අතර එයත් අවසානයේ රටේ ආර්ථිකයට එක් වෙනවා. මෙම ජූනි මාසයෙන් පසුව තවත් ඉදිරියට යාමට අපට අවස්ථා තිබෙනවා.
රටේ ආර්ථිකය ස්ථාවර වූ පමණින්ම සියලු ගැටළු විසඳෙන්නේ නැහැ. මොකද අප අද ආනයනය මත පදනම් වූ ආර්ථිකයක් බවට පත්ව තිබෙනවා. අපේ රටේ ආනයනයට වඩා අපනයනය අඩුයි. අප මෙම පරතරය පියවා ගන්නේ විදේශ ණය ලබාගෙනයි. එවිට අපට නැවත තවත් වසර 10කින් ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදු වෙනවා.
එම නිසා මෙම තත්ත්වය වළක්වා ගැනීමට මම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර කඩිනමින් රට අපනයන ආර්ථිකයකට ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා. එහි මූලික පියවරක් ලෙස කෘෂි නවීකරණ වැඩසටහන හඳුන්වා දී තිබෙන අතර එය සාර්ථක කර ගැනීමට තවත් වසර 06ක්, 07ක් අවශ්‍ය වෙනවා.
රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කර එය අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම නීතියෙන් ද සිදු කිරීමට අපේක්ෂා කරන බව කිවයුතුයි. එම නීතිය මෙම අප්‍රේල් මාසය පමණ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රජයේ මූල්‍ය පාලනය සඳහා තව නීතියක් ගෙන එන අතර මේ නව නීති තුළින් ආර්ථික කටයුතු ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙනු ඇතියි.
පසුගිය කාලයේ රට මුහුණ පෑ ආර්ථික අභියෝගය හමුවේ රටේ සියලු ජනතාව පීඩාවට පත් වුණා. එසේ නම් ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභය කිහිප දෙනෙකුට පමණක් නොවෙයි සියලු ජනතාවට හිමිවිය යුතුයි.
මංගෙදර ටැම්පිට පුරාණ විහාරාධිපති, විශ්‍රාමික පරිවේණාධිපති, ප්‍රවීන ආචාර්ය, ශාස්ත්‍රපති, කෑගල්ල මහ දිසාව ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය වැලිවිට ශ්‍රී ජනානන්දාභිධාන නාහිමිපාණන් වහන්සේ, වෑවලදෙණිය පිරිවෙන් විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍යපාද හෙම්මාතගම ශ්‍රී සිද්ධාර්ථ නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද හිටපු කතානායක කරු ජයසූරිය, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්, තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදයකාන්ත ගුණතිලක, රාජිකා වික්‍රමසිංහ, අජිත් මාන්නප්පෙරුම යන මහත්ම මහත්මීන්, රාජ්‍ය නිලධාරීන් සහ විහාරස්ථ දායක සභාවේ සාමාජික සාමාජිකාවන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.