ජනපති පුටින්ට අගමැති මෝදි සුබ පතයි

ප්‍රතිවාදී දේශපාලන නායකයන් මර්දනය කරමින් සිය අභිමතය පරිදි ජනාධිපතිවරණය පැවැත්වූ බවට අමෙරිකාව ඇතුළු බටහිර රටවලින් එල්ල වන චෝදනා මැද රුසියාවේ ජනාධිපතිවරයා ලෙස පස්වැනි වරටත් තේරී පත් වූ ව්ලිදිමිර් පුටින්ට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සුබ පැතූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියාව සහ ඉන්දියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බවත් අගමැති මෝදි සිය සුබපැතුම් පණිවුඩයෙන් පුටින්ට ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

රුසියාවේ පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ව්ලැදිමිර් පුටින් 87.17%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කළ අතර, ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයන් වන රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂක නිකොලායි කරිටොනොව් 4.1%ක ඡන්ද ප්‍රතිශතයක් ද, නව ජනතා පක්ෂයේ අපේක්ෂක වැලිදිස්ලෝව් ඩවන්කොව් 4.8%ක ඡන්ද ප්‍රතිශතයක් ද ලබා ඇති අතර, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක ලියොනිඩ් ස්ලට්ස්කි ලැබූ ඡන්ද ප්‍රතිශතය 3.15% ක් බව එරට මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.