අභියෝගාත්මක මෙවැනි වකවානුවක මෙරට සෞඛ්‍ය සේවාව විධිමත්ව පවත්වාගෙන යෑම සඳහා ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණට ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය භාර දුන් බව අගමැති දිනේෂ් ගුණවර්ධන පැවසීය.
ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම හා නියාගම රෝහල්වල ගොඩනැඟිලි ජනතා අයිතියට පත් කරමින් අගමැතිවරයා (18) මේ බව පැවසීය.
ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම මූලික රෝහලේ ඉදි කළ නව සිව්මහල් ගොඩනැඟිල්ල සහ නියාගම ප්‍රාදේශීය රෝහලේ ඉදි කළ තෙමහල් ගොඩනැඟිල්ලේ පළමු අදියර විවෘත කිරීම අගමැති දිනේෂ් ගුණවර්ධන සහ සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් (18) සිදු කෙරිණි.
දකුණු පළාත් සභා ප්‍රතිපාදන සහ ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සත්කාර පද්ධති සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය මගින් උඩුගම මූලික රෝහලේ රුපියල් මිලියන 400ක වියදමින් මෙම නව සිව් මහල් ගොඩනැඟිල්ල ඉදි කර තිබේ. එය ශල්‍යාගාර 03කින්, හදිසි ප්‍රතිකාර ඒකකයකින් සහ වෛද්‍ය වාට්ටු 02කින් සමන්විත වන අතර 2017 වසරේදී එහි ඉදිකිරීම් ආරම්භ කර තිබේ.
රට තුළ ඇති වූ කොවිඩ් සහ ආර්ථීක අර්බුද හමුවේ ඉදිකිරීම් ප්‍රමාද වී තිබූ අතර සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණගේ උපදෙස් අනුව මාස 08ක් වැනි කාලයක් තුළ මෙම සිව්මහල් ගොඩනැඟිල්ලේ වැඩකටයුතු අවසන් කිරීමට පියවර ගැනිණි.
නියාගම ප්‍රාදේශීය රෝහලේ ඉදි කරමින් පවතින තෙමහල් ගොඩනැගිල්ලේ පළමු අදියර සදහා වැය කළ මුදල රුපියල් කෝටි 9.5කි. දකුණු පළාත් සභා ප්‍රතිපාදන සහ ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සත්කාර පද්ධති සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය මඟින් 2021 වර්ෂයේ මෙහි ඉදිකිරීම් ආරම්භ කර ඇත. පළමු අදියර තුළ බාහිර රෝගී අංශය, සායන සහ හදිසි ප්‍රතිකාර ඒකකයක් ද වන අතර එහි දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීම සඳහා සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 20ක ප්‍රතිපාදන ලබාදීමට ද පියවර ගෙන ඇත.
ග්‍රාමීය ජනතාවට ගුණාත්මක සහ විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක ග්‍රාමීය රෝහල් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළට සමගාමීව මෙම ව්‍යාපෘති ඊයේ දින සුව සේවා සඳහා එක්කෙරිණි.
තවදුරටත් අගමැතිවරයා මෙසේද පැවසීය.
එම වගකීම මනා ලෙස හසුරුවමින්, කළමනාකරණය කර ගනිමින් සෞඛ්‍ය සේවාවේ උන්නතිය උදෙසා තීන්දු තීරණ ගනිමින් නිසි ලෙස සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට ඇමැතිවරයා කටයුතු කරනවා.
මෙරට සෞඛ්‍ය සේවාව තුළින් පසුගිය කාලය පුරාවටම මාතෘ සෞඛ්‍ය, ළමා සෞඛ්‍ය හා දර්ශක අතින් විශාල ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා.
ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ –
මෙරට සෞඛ්‍ය සේවාව තුළ වර්තමානය වන විට ප්‍රධාන ගැටලු දෙකක් පවතින බවත්, බෝ නොවන රෝග සහ වයස්ගත ජනගහනය ඉහළයෑම ඒ අතර වෙනවා. වයස්ගත වීමේ දී ඇතිවෙන ඇස් නොපෙනීම, කන් නොඇසීම, මානසික ආබාධවලට ගොදුරුවීම, ඔවුන්ට රැකවරණය ලබාදීමට ස්ථානයක් නැතිනම් එය ගැටලුවක්. වයස්ගත ජනතාව වෙනුවෙන් විධිමත් සංරක්ෂණ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.
එහිදී ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීම ඉතා වැදගත් වන නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 22කට රුපියල් මිලියන 03 බැගින් සහ ප්‍රාදේශිය රෝහල් 21කට රුපියල් මිලියන 02 බැගින් ලබා දීමට අවශ්‍ය මුදල් වෙන් කර තිබෙනවා.
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරල, ඉසුරු දොඩංගොඩ, යදාමිණී ගුණවර්ධන, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.