සංචාරක ශ්‍රී ලංකා පිල හා බංග්ලාදේශය අතර තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30ට චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය දැනටමත් 1-1ක් ලෙස දෙපිලම සමබරව ජයගෙන ඇති හෙයින් අද ජය ගන්නා කණ්ඩායම තරගාවලි ජය වාර්තා කරනු ඇත.
ශ්‍රී ලංකා ආරම්භක වමත් වේග පන්දු යවන ඩිල්ෂාන් මධුශංක පාදයේ ආබාධයකට ලක්වීමෙන් පසු පුනරුත්ථාපන කටයුතු ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා ඇති අතර මේ හේතුවෙන් තවත් දින 4කින් ආරම්භ වන අයිපීඑල් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවිනිශ්චිත තත්ත්වයක් ද නිර්මාණය වී තිබේ.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඩිල්ෂාන් මධුශංක ඉන්දීය රුපියල් කෝටි 4.6කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 18කට) මිල දී ගත් අතර, බංග්ලාදේශය සමඟ එක්දින තරගාවලියෙන් අනතුරුව ඉන්දියාව බලා පිටත්වීමට මධුශංක සූදානමින් සිටියේය. එහෙත් වත්මන් තත්ත්වය අනුව ඔහුට අයිපීඑල් ඉදිරි තරග ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.
දෙවැනි එක්දින තරගයේදී පන්දු යවමින් සිටියදී පිටියෙන් ඉවත් වූ මධුශංකගේ වම් කකුලේ ආබාධය පිළිබඳ එම්ආර්අයි ස්කෑන් පරීක්ෂණයෙන් තහවුරු වී ඇති අතර එය පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කළ යුතු බව වෛද්‍ය මතය වී තිබේ.
මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨ පිතිකරු ලිටන් දාස් බංග්ලාදේශ සංචිතයෙන් ඉවත් කර ඇත. ඔහුගේ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන්, අද පැවැත්වෙන තරගයෙන් ඉවත්කොට ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන ලෙස කණ්ඩායම් කළමනාකාරීත්වය දන්වා ඇත. තුන්වන එක්දින තරගය සඳහා ලිටන් දාස් වෙනුවට ජේකර් අලි බංග්ලාදේශ සංචිතයට ඇතුළත් කර තිබේ.
බංගලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනකු ලෙස අනමුල් හක් සහ ටැන්සිඩ් හසන් ඇතුළත්ව සිටිති. ඔවුන්ගෙන් එක් අයෙක් සෞම්‍ය සර්කාර් සමඟින් ඉනිම ආරම්භ කිරීමට සූදානමින් සිටී.
කෙසේ වුවද බංග්ලාදේශය තම රටේදී අවසන් වරට පැවති ඇෆ්ගනිස්තානය හා නවසීලන්තය හමුවේ එක්දින තරගාවලි දෙකම පරාජයට පත්ව සිටීම විශේෂත්වයකි.