IMF ගිවිසුම නොතේරීම නිසා විපක්ෂයට කිසිසේත්ම රට ආණ්ඩු කළ නොහැකි බව ඔප්පු වුණා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

අයි.එම්.එෆ්. ගිවිසුම හරියාකාරව නොතේරීම නිසා විපක්ෂයට කිසිසේත්ම රට ආණ්ඩු කරන්න බැරි බව මේ වන විට ඔප්පු වී ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

නමුත් මෙම තත්ත්වය පිළිබඳ විෂයානුබද්ධ අවබෝධයක්, ප්‍රාමාණික දැනුමක් සහිත ආචාර්ය හර්ෂ ද සිල්වා, මහාචාර්ය ජී.එල්. පීරිස් වැනි විද්වතුන් විශාල අරගලයක් කරමින් විපක්ෂ නායකවරයා වෙත මේ පිළිබඳ කරුණු අවබෝධ කර දීමට කොතරම් උත්සාහ දරුවත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. විපක්ෂ නායකවරයා මේ මොහොතේ අවබෝධ කරගත යුතු තත්ත්වය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සහයෝගය නැතිව කවුරුන් විසින් ආණ්ඩු බලය හිමි කර ගත්තත් රට මේ පවතින තත්ත්වයෙන් දශමයක් හෝ ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව යැයි අමාත්‍යවරයා තව දුරටත් මෙහිදී පැවසීය. එමෙන්ම රජය විසින් එකඟ වී අත්සන් තබා ඇති ගිවිසුම් එකඟතාවලින් තොරව ඉදිරියේදී කවුරුන් විසින් ආණ්ඩුවක් පිහිටුවූවත් ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් සංවිධානවල සහයෝගයෙන් තොරව කිසිවකුටත් රජයක් පවත්වාගෙන යෑමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මේ කරුණු පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් සිදු කර නැති අයකුට රටේ ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකි බවද රට ගොඩ ගත නොහැකි බවද රටේ ප්‍රශ්න හඳුනාගත නොහැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අමත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙම වසරේදී මෙරට පැවැත්වීමට නියමිත කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේ සංවිධාන කටයුතු පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීය.

අමත්‍යවරයා එහිදී මෙසේ ද පැවසීය.

“2022 වසරෙන් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුන් ශ්‍රී ලංකාව දේශීය ණය ගෙවා ගැනීමට නොහැකිව, රට සතු විදේශීය සංචිත ද සිඳී ගොස් ඇති වූ දරුණු ආර්ථික අර්බුදය හමුවේ වසරක පමණ කාලයක් රජය දීර්ඝ වශයෙන් දැරූ උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 2023 වසරෙදී විස්තීරණ ණය ගිවිසුමකට ඇතුළත්ව තිබේ. ඒ අනුව මාස හතළිස් අටකදී ඩොලර් බිලියන 3ක ණය මුදලක් සමඟ මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරික දෙකක් රටට ලැබී ඇති අතර, මේ දිනවල තුන්වැනි ණය වාරිකය ලබා දීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණ තිබේ.

මෙම සංවිධාන සමඟ එළඹ ඇති අනුව 2027 වන විට ඇති විය හැකි විදේශ සම්පත් පරතරය ඇ.ඩො. බිලියන 3911ක්‌. එය පියවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය පහසුකම යටතේ 329ක්‌, 2027 අය-වැය සැකසීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 600ක්‌, ලෝක බැංකුව විසින් 300ක්‌, ආසියානු සංවර්ධන බැංකුව 300ක් ‌සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ලැබෙන වාසිය 1428 ලැබෙනු ඇති. ඒ අනුව 2027දී ඇති වන මිලියන 1500ක හිඟය සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ස්වෛරීත්ව බැඳුම්කරයක් මඟින් 1500ක් ලබාගත හැකියි. ඒ වන විට ජාත්‍යන්තර සංචිතය ඇ.ඩො. බිලියන 14කට වඩා වැඩි විය යුතුයි. මේ වන විට පවතින සංචිතය 4.4ක් ‌පමණයි.”

මෙම ජාත්‍යන්තර ගෙවීම් ක්‍රමවේදය පිළිබඳ විෂයානුබද්ධ ප්‍රාමාණික දැනුමක් සහිත පිරිස් මෙම සාකච්ඡා සඳහා දායක විය යුතු අතර ඒ පිළිබඳ විෂයානුබද්ධ දැනුමක් නැති පිරිස් මේ සාකච්ඡාවන් මඟ හරිමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේ අධ්‍යක්ෂ ඈෂ්ලි රත්න විභූෂණ , ප්‍රවීණ සිනමාවේදී බූඩි කීර්තිසේන ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.