රනිල් කියන්නේ තරුණ පරම්පරාවට සීයා කෙනෙක් – එස්.එම්. මරික්කාර්

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු රටේ තරුණ පරම්පරාවට සීයා කෙනෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ රැළිය පැවැත්වූ කුලියාපිටිය නගරයේදීම 2017 වසරේදී වොක්ස්වගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන බවට ඔහු ප්‍රකාශ කළ නමුත්, ඔහුට පාපැදි කර්මාන්ත ශාලාවක්වත් සාදා   ගැනීමට නොහැකි වූ බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ විවිධ පොරොන්දු ලබාදුන්නද ඉන් එකක්වත් ඉශ්ට කිරීමට ඔහු අසමත්වී ඇති බවත්, ඉදිරියට එන ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වන්නේ නම්, එහි වසර 5 අවසානයේ ඔහුට වයස 80 ඉක්මවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

එවැනි වයසක පුද්ගලයෙකුට රටේ ඊළඟ පරම්පරාව ණය ගෙවන ආකාරය සම්බන්ධයෙන් හැඟීමක් නොමැති බවත්, එම නිසා ඔහු⁣ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ඕනෑම ආයතනයක් සමඟ විකුණා දැමිය හැකි බවත්, එවිට ණය කරුවන් බවට පත්වන්නේ “සීයා” නොව “මුණුපුරන්” බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.