ඩයනාගේ පෙත්සම යළි විභාගයට ගැනේ

සිය පක්ෂ සාමජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය නීත්‍යානුකූල නොවන බවට තීන්දු කර එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අත්‍යවශ්‍ය පාර්ශව කිහිපයක් නම් කර නොමැති බව පෙන්වා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයින් හා විනය කමිටුවේ සියලු සාමාජිකයින් අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර නොමැති වීම බරපතළ නීතිමය දෝෂයක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ අනුව අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවත් සඳහන් කර තිබෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කිසිදු සාධාරණ විනය පරීක්ෂණයක් නොපවත්වා තමාව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.