ශ්‍රී ලංකන් ගුවන් සේවයට මූල්‍ය ප්‍රගතිය පෙන්වීමට මාස 6 ක් ලබාදෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මූල්‍ය ප්‍රගතිය ඉදිරි මාස 06ක කාලය තුළදී පෙන්විය යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් එහි පාලනාධිකාරියට සහ වෘත්තීය සමිති වෙත දැනුම්දී තිබෙනවා.

එසේ නොවුණහොත් 6000ක පමණ සේවකයින්ගේ රැකියාවල අස්ථාවරභාවයක් ඇතිවන බවයි (11) පෙරවරුවේ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය බැංකු සහ ආයතන කිහිපයකට ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක පමණ ණය ප්‍රමාණයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 510ක් පමණ රජය විසින් ගෙවා දැමීමට තීරණය කර තිබෙනවා.

එබැවින් එම මාස 06 තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනවශ්‍ය වියදම් කපා හැර මනා මූල්‍ය විනයක් සමාගම තුළ ඇති කරගත යුතු බවත්, ඒ සඳහා පරිපාලනය සහ වෘත්තීය සමිති ඒකාබද්ධව කටයුතු කළයුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.