දැන් ඉන්නේ ගල් කැටයක්වත් අතට නොගෙන 69 ලක්ෂයක් ඡන්ද ගත් පාලකයා පලවාහැරි ජනතාවක් – අනුර

ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ දේශපාලනය සඳහා පිවිසීමට අපේක්‍ෂා කරන තරුණ තරුණියන් වෙනුවෙන් නව දොරටු විවෘත කරන බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මෙතෙක් පෙළපතින් පැමිණි දේශපාලනය, සාමාන්‍ය ජනතාවගේ දූ-පුතුන් වෙත මාරු වීම වැළැක්වීම සඳහා අනෙකුත් පක්ෂ කළ හැකි සියලු කුමන්ත්‍රණ සිදු කරමින් සිටින බවද, මැද කොළඹ පිට්ටනියක් පුරවා සහල් ගෙනැවිත් තිබෙන අතර ලංකා ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණය මේ මැතිවරණයේදී ඔවුන් පොම්ප කරන බවද ඔහු පෙන්වා දෙනවා.

කෙ​සේ නමුත්, 2022 මැයි 09 වැනිදාට පෙර සිටි ජනතාව රැවටිය හැකි වුවත්, දැන් සිටින්නේ අත්දැකීම්වලින් පාඩම් ඉගෙනගෙන, තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් සහ 69 ලක්ෂයක් ඡන්දවලින් පත් වුණු ජනාධිපතිවරයෙක් ගල් කැටයක්වත් අතට නොගෙන පලවාහැරිය ජනතාවක් බවයි ඔහු පෙන්වා දෙන්​නේ.

එබැවින් ඔවුන් සෙල්ලම් කරන්නට හදන්නේ තමන් දේශපාලනය කරන අලුත් ජනතාවත් සමඟ බවද, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්‍ෂ සහ සජිත් ප්‍රේමදාස දේශපාලනය කරන්න සූදානම් වන්නේ පැරැණි ජනතාවත් සමඟ වුවත් තමන් දේශපාලනය කරන්නේ 2022 මැයි 09 වැනිදායින් පසු වෙනස් වූ නව ජනතාවත් සම​ඟ බවයි ඔහු අවධාරණය කළේ.