විදුලි සෝපානය අලුත්වැඩියා කරන්නැයි ඉල්ලා මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් සංකේත වැඩ වර්ජනයක

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මධ්‍යම තැපැල් හුවමාරුව ස්ථාපිත කර ඇති මහල් 8ක ගොඩනැගිල්ලේ අක්‍රීය වී ඇති විදුලි සෝපානය අලුත්වැඩියා නොකිරීමට විරෝධය පළකරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹි බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේ.

විදුලි සෝපානය අක්‍රීය වී වසරකට ආසන්න කාලයක් ගතවුවද එය අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් තැපැල් මළු ගොඩනැගිල්ල තුළ එහා මෙහා ගෙනයාමට සේවකයින්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මාසයක් ඇතුළත එය නැවත සකස් කිරීමට අපොහොසත් වුවහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.