ජනමාධ්‍ය ඇතුළු වෘත්තීන් රැසකට ‘ගරුසරු’ නමින් රැකී රක්ෂා ආඥා පනතක්

ජනමාධ්‍ය ඇතුළු වෘත්තීය රැසක ගරුත්වය සහ වෘත්තීය අයිතිවාසිකම් රැකදීම සඳහා “ගරුසරු” නමින් නව රැකී රක්ෂා ආඥා පනතක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කම්කරු හා විදේශ රැකියා කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කළේය. කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේ දී පැවැති ජංගම සේවා වැඩසටහනකට එක්වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් (09) මේ බව කීවේය.

මේ වන විට රටේ මාධ්‍යවේදීන් ගැනෙන්නේ කම්කරු වෘත්තීයටත් වඩා පහළ මට්ටමකට බැවින් මාධ්‍ය වෘත්තීය නව කම්කරු ප්‍රඥප්තියට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත්දැයි මාධ්‍යවේදියකු මෙහි දී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මනූෂ නානායක්කාර වැඩි දුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

ගරුසරු නමින් හඳුන්වා දීමට නියමිත අලුත් වැඩසටහන තුළින් තමයි නව කම්කරු රැකී රක්ෂා ආඥාපනත හදන්න යන්නේ . මේ ආඥා පනත යටතේ තියෙනවා වෘත්තීය ගරුත්වය කියලා පරිච්ඡේදයක්. මාධ්‍යවේදීන්ට, ත්‍රිරෝද රථ රියැදුරන්ට, පෙර පාසල් ගුරුවරුන් ඇතුළු මේ වන විට රටේ ක්‍රියාත්මක විවිධ රැකී රක්ෂා ඇතුළත් අංශ ගණනාවකට වෘත්තීයමය වශයෙන් කිසිදු සැලකිල්ලක් නැහැ. ඔවුන්ට ඊටීඑෆ් එකක් ඊපීඑෆ් එකක් නැහැ. මේ අයට තමන්ට සිදු වන කම්කරු අසාධාරණ ගැන පැමිණිලි කරන්න තැනක් නැහැ. මේ ගැන විශේෂ අවධානයක් යොමු කරලා තමයි මේ හැම දෙනාම කම්කරු දෙපාර්තමේන්තුව යටතට ගැනෙන මේ රටේ ශ්‍රම බළකායේ කොටසක් විදිහට පිළිගැනෙන ආකාරයට ගරුසරු වැඩසටහන අපි හදන්නේ. ඔවුන්ටත් ඊපීඑෆ් සහ ඊටීඑෆ් ප්‍රතිලාභ සියල්ලම ලැබෙන ආකාරයටත් ඒ අයටත් තමන්ට සිදු වන ආසාධාරණ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න පුළුවන් වෙන විදිහටත් තමයි අපි මේ අලුත් රැකී රක්ෂා පනත හදලා තියෙන්නේ. මාධ්‍යවේදීන් පමණක් නොවෙයි තවත් වෘත්තීන් ගණනාවක්ම අපි ඒකරාශි කරගෙන ඒ අයට වෘත්තීය ගරුත්වයක් සහ සාරවත්භාවයක් ලබා දීමට මේ තුළින් කටයුතු කරනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.