මැණික් ගලක් නිසා ව්‍යාපාරිකයෙක් පැහැරගනියි

මැණික් ගලක් අලෙවි කිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් ඇතිවූ ආරවුලක් හේතුවෙන් හොරණ ප්‍රදේශයේ රෙදි පිළි ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් තිබේ.

පැහැරගත් පිරිස විසින් ව්‍යාපාරිකයා මුදාහැරීමට ඔහුගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 35ක කප්පම් මුදලක් ඉල්ලා තිබූ අතර කප්පම්කරුවන් සූක්ෂම ලෙස කොටු කරගැනීමට පොලීසිය සමත්වී ඇත.

හොරණ කෝරලඉම තේවත්තපාර ප්‍රදේශයේ පදිංචි රෙදිපිළි ව්‍යාපාරිකයාට හලාවත ප්‍රදේශයේ හිතවතෙකු මැණික් ගලක් ලබාදී තිබු‍ණේ එය අලෙවිකරදෙන ලෙස ඉල්ලමිනි.

ව්‍යාපාරිකයා මැණික් ගල රුපියල් ලක්ෂ 10ක මුදලකට මහරගම ප්‍රදේශයේ ශාන්ත නම් හිතවතෙකු මාර්ගයෙන් ගැණුම්කරුවෙකුට අලෙවිකර තිබුණි.

පිළියන්දල ප්‍රදේශයේ මාර්ගයක් අසල ගනුදෙනුව සිදුකර තිබූ අතර පසුව මැණික් ගල මිලදීගත් ගැණුම්කරුවා දින කිහිපයකට පසු ශාන්ත නමැති පුද්ගලයාට පවසා තිබුණේ මැණික් ගල ව්‍යාජ එකක් බවයි.

මහරගම ශාන්ත නමැති පුද්ගලයා තවත් තිදෙනෙකු සමග රාත්‍රී 1.00ට පමණ රෙදිපිළි ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් ඇති අතර ඔහු සමග යමක් පැවසීමට ඇති බව පවසා ව්‍යාපාරිකයාව මෝටර් රථයට නංවාගෙන රැගෙන ගොස් තිබේ.

ව්‍යාපාරිකයා දිවුලපිටිය ප්‍රදේශයේ පාළු වත්තකට රැගෙන ගොස් පහරදෙමින් දින කිහිපයක් රඳවාගෙන ඇති අතර ව්‍යාපාරිකයාව මුදාහැරීමට නම් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාදෙන ලෙස බලකරමින් පැහැරගත් පිරිස ඔහුගේ බිරිඳට අවස්ථා කිහිපයකදී දුරකථනයෙන් තර්ජනය කර ඇත.

ව්‍යාපාරිකයාගේ බිරිඳ මේ සම්බන්ධයෙන් මොරගහහේන පොලීසියට පැමිණිළි කර තිබූ අතර පොලීසියෙන් ලද උපදෙස් මත කප්පම් මුදල රුපියල් ලක්ෂ 10 දක්වා අඩුකර ගැනීමටත් එය ලබාදීමටත් එකඟවී තිබේ.

ඊයේ පස්වරුවේ කප්පම් මුදල ලබාගැනීම සඳහා පැමිණෙන අතරතුර මොරගහහේන පොලීසිය විසින් මිල්ලෑවත්ත ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.