ශ්‍රී පාද වන්දනා සමයේ මුල් මාස තුනට ප්ලාස්ටික් බෝතල් ටොන් 03 ක් පරිසරයට බැහැර කරලා – මස්කෙළිය ප්‍රාදේශීය ලේකම්

වන්දනාකරුවන් විසින් ශ්‍රී පාද උඩ මළුව දක්වා වූ මාර්ගය අවට බැහැර කර තිබුනු ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් 03ක් පමණ එක්රැස් කළ බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්.රාජවීරන් පවසනවා.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වී මාස තුනක් වැනි කෙටි කාලයක් තුළදී නල්ලතන්නිය සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා වූ මාර්ගයෙන් මෙම ප්ලාස්ටික් වතුර බෝතල් තොග‍ය එකතු කළ බවයි ඔහු සඳහන් කළේ.

මෙසේ එකතු කළ ප්ලාස්ටික් වතුර බෝතල් තොගය නල්ලතන්නියේ කැළි කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන එන බවත්, එහිදී ඒවා පෞද්ගලික අංශයට අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවත් ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියා.

ප්ලාස්ටික් වතුර බෝතල් බැහැර කිරීම සඳහා නිසි පරිදි කසල බඳුන් සවිකර තිබුණත් ඇතැම් වන්දනාකරුවන් ප්ලාස්ටික අපද්‍රව්‍ය පරිසරයට මුදාහරින බවයි ලේකම්වරයා පෙන්වා දෙන්නේ