ගොවි ජනතාවට ඉඩම් ලබා දීමේ විප්ලවීය වැඩසටහනක් ආණ්ඩුව ආරම්භ කර තිබෙනවා

රජය සතු ඉඩම්වලින් කොටසක් වගා කිරීම සඳහා ගොවි ජනතාවට ලබා දීමේ විප්ලවීය වැඩසටහන ආණ්ඩුව මේ වන විටත් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි පාර්ලිමේන්තුවේ දී (07) පැවසීය.

වන සතුන්ගෙන් කෘෂිකර්මාන්තයට සිදු වන හානිය නැති කිරීම පිළිබඳ කල් තබන යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ඇමැතිවරයා මෙසේද පැවසීය.

ගොවි ජනතාව ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුවට විශාල වගකීමක් පවතිනවා.

මෙරට ශ්‍රම බළකායෙන් ගොවි ජනතාව සියයට 27ක් සිටිනවා. නමුත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට දායක වන්නේ සියයට 8ක් වගේ සංඛ්‍යාවක්. ඉන් පැහැදිලි වන්නේ ඉතා මහන්සියෙන් වැඩ කරන ගොවි ජනතාවට ලැබෙන මුදල ප්‍රමාණවත් නැති බව. අද ගොවි ජනතාවට ලැබෙන මුදල ඉතා අඩුයි. කෘෂිකාර්මික රටක් වශයෙන් ඊට හේතු වූ කරුණු පිළිබඳව සොයා බැලීම ඉතා වැදගත්. ගොවි ජනතාව වගා කරන බිම්වලින් සියයට 80ක් තිබෙන්නේ කුඩා වතු හිමියන් සතුව. කුඩා කුඹුරු හිමියන්, කුඩා වතු හිමියන්. එම නිසා මහා පරිමාණ වගාවන් සිදු වන්නේ නැහැ.”