බැංකු සේවක වැටුප් වැඩිවීම ගැන ආණ්ඩුවේ ස්ථාවරය හෙළි කරන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් සමාජයේ ආන්දෝලනයක් ඇතිව තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ගැන දැනගැනීමට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී (06) ප්‍රකාශ කළේය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී (06) මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කරමිනි.

තවදුරටත් විපක්ෂ නායකවරයා මෙසේ ද පැවැසීය.

“මෙවැනි අත්තනෝමතික තීන්දු තීරණ ගතනොහැකි ලෙස මහ බැංකු පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් මතය ඉදිරිපත් කළ යුතුයි.

රාජ්‍ය සේවයේ විශේෂඥයන් සහ වෘත්තිකයන් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලීම් කළත් අද වන විට එම සහනය යම් පමණකින් ලැබුණේ වෛද්‍යවරුන්ට සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පමණයි. රාජ්‍ය සේවයේ සිටින වෘත්තීය වගකීම් දරන සිය රාජකාරිවල විශේෂඥතාවක් දරන වෘත්තීන්ට සහ අනෙකුත් රාජ්‍ය සේවයකයන්ට වැටුප් වැඩි කරන්නේ කවදාද.

රාජ්‍ය සේවකයන් 20000ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටියත් එය ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් යටතේ මහ බැංකු නිලධාරීන්ට මේ ආකාරයට වැටුප් දීමනා වැඩි කිරීමට ඉඩ ලබාදීමේ පූර්වාදර්ශය තුළ සමස්ත රජයේ නිලධාරීන්ට විසඳුමක් ලබා දිය යුතුයි.

රට ආර්ථික වශයෙන් බංකොළොත්වීම සම්බන්ධයෙන් වගකිවයුත්තන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ දී මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සිටි පුද්ගලයන් ඒ සඳහා ඍජුවම වගකිව යුතුයි. බංකොළොත්භාවයෙන් මිදීමට වෙර දරන රටක ප්‍රධාන මූල්‍ය නියාමන ආයතනය තම වැටුප් වැඩි කිරීම සඳහා සදාචාරාත්මක අයිතියක් තිබේද.