අනුර කුමාර දිසානායක හා රටවල් 6 ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර සාකච්ඡාවක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ රටවල් 06ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර හමුවක් (06) පවත්වා තිබෙනවා.

ඒ අනුව එම සාකච්ඡාව සඳහා පලස්තීන, තුර්කි, බංග්ලාදේශ, ඉන්දුනීසියානු, මැලේසියානු සහ මාලදිවයින් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සහභාගී වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙහිදී විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කර ඇති අතර, රට තුළ දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වූ බව ජාතික ජන බලවේගය සඳහන් කරනවා.

එසේම රටවල් සමග අන්‍යෝන්‍ය ගරුත්වය සහ සහයෝගීතාව මත පදනම්ව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගය ලෙස ගෙන ඇති සූදානම පිළිබඳවද මෙම හමුවේදී එම රාජ්‍යතාන්ත්‍රිකයින්ට පෙන්වාදුන් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.