ජනපති ගැන කාටුන් ඇතුළත් Press Vs. Prez කෘතිය එළිදැක්වීම හෙට

රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමේ අසීරු කාර්ය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සුවිශේෂ භූමිකාව පුවත්පත්වල කාටූන් ශිල්පීන් දුටු ආකාරය එක් කර සම්පාදනය කළ “Press Vs. Prez” කෘතිය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් හෙට (07) සවස 4.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදු කෙරේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන  විසින් මෙම කෘතිය සම්පාදනය කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා 2021 ජූනි 23 වැනිදා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් දා සිට එතුමාගේ ජාතික නායකත්වයේ ගමන් මඟ පිළිබඳ 2023 මැයි මාසය දක්වා පුවත්පත්වල පළවූ කාටූන් 600ක් පමණ එක් කර මෙම කෘතිය නිර්මාණය කර ඇත.

කාටූන් ශිල්පීන් 40 දෙනකු සහ ජනමාධ්‍යවේදීන් 20කට ආසන්න පිරිසක් විසින් මෙහි නිර්මාණ දායකත්වය දී තිබෙන අතර එම කාටූන් ශිල්පීන් සහ රූපවාහිනිය ඔස්සේ ඒවා ඉදිරිපත් කළ රූපවාහිනී නිවේදකයන් ද මෙහිදී ඇගැයීමට නියමිතය.

කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස ඉන්දීය කාටූන් ශිල්පී නාලා පොන්නප්පා සහභාගි වීමට නියමිත අතර ඔහු විසින් විශේෂ දේශනයක් ද සිදු කරනු ඇත.

කෘතියේ විචාර දේශනය මහාචාර්ය රොහාන් නෙත්තසිංහ  විසින් සිදු කරයි.

හිටපු ජනාධිපතිවරු, පාර්ලිමේන්තු මැති ඇමැතිවරු, විදෙස් තානාපතිවරු, මාධ්‍යවේදීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සමීපතමයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා ආරාධනා ලැබ සිටී.