වගාකරුවන්ට තත්ත්වයෙන් සහ ගුණත්වයෙන් ඉහළ තේ පොහොර අඩු මිලට දෙනවා -ඇමැති මහින්ද අමරවීර

රජයේ පොහොර සමාගම් දෙක නිෂ්පාදනය කරන තත්ත්වයෙන් සහ ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පොහොර වෙළෙඳපොළේ අලෙවි කරන මිලට වඩා අඩුවෙන් වගාකරුවන්ට දෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (01) ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 37 වන ආසියා පැසිෆික් සමුළුවට සමගාමීව පැවැත්වෙන ‘Agri tech-24 කෘෂි තාක්ෂණ දැක්ම’ ප්‍රදර්ශනය 02 වැනිදා හම්බන්තොට බටඅත පිහිටි කෘෂි තාක්ෂණික උද්‍යානයේදී ආරම්භ කළා. මේ දිනවල දිවයින පුරා උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් පවතිනවා. එය ජල උල්පත් සිඳීයෑමේ තත්ත්වයක් දක්වා බලපා තිබෙනවා. එම තත්ත්වය හමුවේ වගා කටයුතු සිදුකිරීමේදී එක් දිනකදී සම්පූර්ණ කුඹුරු යායම එකවර වගා කරන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කෘෂිකර්මාන්තය සඳහා නවීන තාක්ෂණය හඳුන්වාදීමට අප බලාපොරොත්තු වෙනවා. ගොයම් සිටුවීමට පැරෂුට් වැනි ක්‍රම භාවිත කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් ගොවි සංවිධානවලට විශේෂ වගකීමක් තිබෙනවා. සීසෑමේදී තැටි නඟුල සහ මෝල් බෝඩ් නඟුල භාවිත කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ වන විටත් සාර්ථක ලෙස ගොවිතැන් කටයුතු සිදු කරන ගොවි මහතුන් තම අස්වනු ඉලක්ක සපුරා ගැනීමට මේ ක්‍රමය දැනට භාවිත කරන බව අවධාරණය කළ යුතුයි. පවතින ජල ප්‍රමාණය අඩු වීම නිසා අතිරේක බෝග වගාව සඳහා වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. බඩඉරිඟු සහ මුං වැනි ධාන්‍ය වගාවට යොමු වන අය වෙනුවෙන් අප උපකාර කිරීමට සූදානමින් සිටිනවා.

තේ සඳහා යොදන පොහොර වර්ග වන T -200, T- 750, U -709, U 834 , T 65 වැනි පොහොර පසුගිය කාලයේ ඉතා අධික ලෙස මිල ඉහළ ගොස් තිබුණා. නමුත් එම මිල යම් ප්‍රමාණයකට අඩු කර ගැනීමට අපට හැකි වුණා. දැනට පවතින මිල තවත් අඩු කර ගැනීමට අප උත්සාහ දරමින් සිටිනවා. එම නිසා රජයට අයත් සමාගම් දෙක වන කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම සියලුම තේ පොහොර නිෂ්පාදනය කිරීමට පියවර ගෙන තිබෙනවා. තත්ත්වයෙන් උසස් ගුණාත්මකභාවයෙන් ඉහළම තේ පොහොර රජයට අයත් පොහොර සමාගම් දෙකෙන් නිෂ්පාදනය කර තේ වගාකරුවන්ට දීම අපේ අරමුණයි. ඒ අනුව මේ පොහොර වෙළෙඳපොළේ අලෙවි කරන මිලට වඩා රුපියල් 2000ක් අඩුවෙන් අවම මිලක් යටතේ වගාකරුවන්ට දෙනවා. රජය ගෙන යන වැඩපිළිවෙළට අනුව සහන මිලට පොහොර දීමෙන් තේ වගාවේ අස්වැන්න ඉහළ නැංවීමට මහත් රුකුළක් වනු ඇතැයි මම සිතනවා. නව වගා තාක්ෂණය තේ වගාවටත් හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ මේ වන විට ව්‍යාපෘති 59ක් ක්‍රියාත්මක කර තිබෙනවා. එයින් ව්‍යාපෘති 55ක්ම ඉතා සාර්ථක බව කිව යුතුයි. ඔවුන් අක්කරයක වගාවකින් මාසයකට තේ දලු කිලෝග්‍රෑම් 1350ක් පමණ නෙළා ගන්නවා. මේ වසරේදී අප විසින් රුපියල් මිලියන 1000ක් පමණ මේ ව්‍යාපෘතිය සඳහා යෙදවීමට අපේක්ෂා කරනවා.

කෘෂිකර්මාන්තය නැංවීමට මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දූරදර්ශී දැක්ම නිසා බවත් කිව යුතුයි. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශයට එක් නොකළා නම් කිසිසේත්ම මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ නෑ. එබැවින් එම නිවැරදි පියවර ගැනීම සම්බන්ධව ජනාධිපතිවරයාට ස්තූති කළ යුතුයි.”