වාරිමාර්ග ඇමැතිනිය වයඹ ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිරීක්ෂණයට

වයඹ පළාතට ජලය ගෙන යන වයඹ ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි (02) දඹුල්ල වෑමැඩිල්ල ජලාශය සහ දේවහූව ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

පළමුව වෑමැඩිල්ල ජලාශයට ගිය ඇමැතිවරිය පසුව දැනට ඉදිකිරීම් අවසන් කර ඇති වෑමැඩිල්ල ජලාශයේ සිට කිලෝමීටර් 6ක් දුරින් පිහිටි දේවහූව හන්දියට ගොස් වයඹ ඇළේ ඉදිකිරීම් නිරීක්ෂණය කළාය. එහිදී ඉදිකිරීම් කටයුතුවල නිරත චීනයේ ස්ටේට් ඉංජිනේරු ඉදිකිරීම් පුද්ගලික සමාගමේ (චයිනා ස්ටේට් ඉංජිනියරින්ග් කන්ස්ට්‍රක්ශන් ප්‍රයිවට් ලිමිටඩ්) සහ මෙරට ඉංජිනේරුවන් සමඟ ඉදිකිරීම්වල ප්‍රගතිය සාකච්ඡා කළාය.

එහිදී වයඹ ඇළ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු අශෝක පෙරේරා මහතා කියා සිටියේ දැනට සිදු කෙරෙන පළමු අදියරේ දෙවන ඉදිකිරීම්වලින් 97%ක් අවසන් කර ඇති බවයි. ඉදිරි මාස දෙක ඇතුළත එහි ඉදිකිරීම් නිමා කළ හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ව්‍යාපෘතිය අවසානයේ වයඹ පළාතේ ඉඩම් හෙක්ටයාර් 13,000කට යල මහ දෙකන්නයේම ජලය සැපයේ. වයඹ පළාතේ පානීය ජල අර්බුදයට ද මෙයින් විසඳුම් ලැබෙනු ඇත. තවද කහැල්ල පල්ලේකැලේ වනාන්තර කලාපය ජාතික උද්‍යානයක් ලෙස සංවර්ධනය කෙරෙන අතර එයින් ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ද රුකුලක් වේ. වයඹ ඇළ ව්‍යාපෘතියෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට සහ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට ආර්ථිකමය හා සමාජීය වශයෙන් ජීවනෝපාය සංවර්ධනයට විශාල පිටිවහලක් ලැබෙනු ඇත.