ස්විට්සර්ලන්තයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපතිනි හිමාලි අරුණතිලක
රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ ආයතන සැමවිටම ස්ථාවරව පවතින බව සහතික කරමින් දැනටමත් ස්ථාපිත දේශීය යන්ත්‍රණයක් ඔස්සේ හරහා ප්‍රගතිය හඹා යෑමට කැපවී සිටින බව ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ ස්විට්සර්ලන්තයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපතිනි හිමාලි අරුණතිලක මහත්මිය අවධාරණය කළාය.
සමාජ, දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රවල සාමාන්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමෙහිලා සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර එය දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද පිළිගෙන තිබෙන බව අරුණතිලක මහත්මිය ප්‍රකාශ කළාය.
ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරය අමතමින් ශ්‍රී ලංකා තානාපතිනිය මේ බව සඳහන් කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා තිබෙන හිමාලි අරුණතිලක මහත්මිය,
“ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා, මෙම සතිය මුලදී මෙම කවුන්සිලය අමතමින්, ශ්‍රී ලංකාව වසර ගණනාවක් තිස්සේ මෙම කවුන්සිලය සමඟ ක්‍රියාකාරීව හා ඵලදායීව සම්බන්ධ වී ඇති බව අවධාරණය කළා. කවුන්සිලයේ ක්‍රියාකාරී ක්‍රම ගණනාවක් සමඟ අපගේ මෑතකාලීන කටයුතු පිළිබඳව ද ඔහු විස්තර කළා. විශේෂයෙන්ම මෙම කවුන්සිලයට අදාළ කරුණු සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ වැඩි විස්තර සැපයීමට මා අද අදහස් දක්වන්නේ මෙම සන්දර්භය තුළයි.
රජය මෑත අතීතයේ අභියෝග ජය ගැනීම සඳහා රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ ආයතන සැමවිටම ස්ථාවරව පවතින බව සහතික කරන අතරම ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසන්ධාන අරමුණු සඳහා ප්‍රමුඛත්වය ලබාදී තිබෙනවා. ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා පිළිබඳ සංවේදී වීම, දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි අය කෙරෙහි ඇති අභියෝගවල බලපෑම මැඬපැවැත්වීම සඳහා සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කර තිබෙනවා. සමාජ, දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රවල සාමාන්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමෙහිලා සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව අවිවාදිතයි. මෙය දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පිළිගෙන තිබෙනවා. රටේ සෑම ප්‍රදේශයකම සිටින ශ්‍රී ලාංකීය සමාජයේ සියලු කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා ගෙනයන ආර්ථික ප්‍රකෘතිය සඳහා රජයේ කැපවීම අපේක්ෂා කරනවා.
දැඩි බාධාවන් මධ්‍යයේ වුවද ජාතික සමගිය, පශ්චාත්-ගැටුම් සංහිඳියාව සහ මානව හිමිකම් යන පදනම ශක්තිමත් කිරීම සඳහා වන අඛණ්ඩ ප්‍රයත්නයන් කඩිනම් කිරීම සඳහා අපගේ අරමුණු ස්ථීර සහ නොසැලී පවතිනවා. දැනටමත් ස්ථාපිත දේශීය යන්ත්‍රණ හරහා ප්‍රගතිය හඹා යෑමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා. සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ උපදේශන රජය, සිවිල් සමාජය, ආගමික නායකයන් සහ නීති විශාරදයන්ගේ සහභාගිත්වයෙන් සිදුවෙමින් පවතිනවා. පනත් කෙටුම්පත 2024 ජනවාරි 1 වැනි දින ගැසට් කරන ලද අතර කෙටුම්පත පිළිබඳ මහජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. කොමිෂන් සභාව සඳහා අඩිතාලම දැමීම සඳහා අතුරු ලේකම් කාර්යාලයක් 2023 මැයි මාසයේ සිට දැනටමත් ස්ථාපිත කර ඇති අතර එහි කටයුතු දිගටම කරගෙන යනවා.
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) කටයුතු සිදු වෙමින් පවතිනවා. OMP පිළිබඳ සැලකිය යුතු මහජන විශ්වාසයක් පෙන්නුම් කරමින්, 1 අදියර පැමිණිලිකරුවන් 6,025න් 5,221ක් OMP හමුවී පරීක්ෂණ පවත්වා තිබෙනවා. OMP හි ලුහුබැඳීමේ ඒකකය 16 දෙනකු ජීවතුන් අතර සිටින අතර 3 දෙනකු මියගිය බව තහවුරු කිරීමත් සමඟ 2023දී අතුරුදන් වූවන් සෙවීමේ ප්‍රගතියක් ඇතිව තිබෙනවා. පවුල් 1,313කට නොපැමිණීමේ සහතිකය (CoA) ලැබී ඇති අතර වලංගු කාලය 2028 දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා. OMP දත්ත රැස් කිරීම, ආරක්‍ෂා කිරීම සහ කළමනාකරණය යන ක්ෂේත්‍රවල තාක්ෂණික සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් ICRC සමඟ දිගටම සහයෝගයෙන් කටයුතු කරනවා.
ගෝලීය දකුණේ රටවලට එරෙහිව යෝජනා මඟින් පැනනඟින ජනවරම දැන් එම රටේ වර්ධනයන් පිළිබඳ ධාවන ප්‍රස්ථාරයක් බවට පරිණාමය වී තිබෙනවා. වර්ධනයන් සැමවිටම සෘණාත්මකව උද්දීපනය වෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්කල, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ වාචික යාවත්කාලීන කිරීම තවමත් සාකච්ඡා පැවැත්වෙන ජාතික නීති සම්පාදන ගණනාවක් ගැන සඳහන් කරනවා. සිවිල් සමාජය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කරන ලද අතිරේක යෝජනා සැලකිල්ලට ගනිමින් සද්භාවයෙන් යුතුව රජය දැන් සංශෝධනය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින දේශීය නීතියක් වන ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත 2024 ජනවාරි 10 වන දින සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පෙත්සම් සමාලෝචනය කිරීමෙන් පසුව, ශ්‍රේෂ්ඨාධිකරණය එකී පනත් කෙටුම්පත පිළිබඳ සිය තීරණය ලබා දී තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය රජය විසින් පිළිගෙන ඇති අතර පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට පෙර සුදුසු පරිදි සංශෝධනය කරනවා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන පනත (NGO ලියාපදිංචි කිරීමේ සහ අධීක්ෂණ පනත් කෙටුම්පත) කෙටුම්පත සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධාන සමඟ උපදේශන වට හයක් සිදුකර තිබෙනවා. ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ මුදල් විශුද්ධිකරණය වැනි කරුණු සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද සියලු කරුණු සලකා බලා පනත් කෙටුම්පතට ඒකාබද්ධ කර ඇති අතර ඒවා විසඳීම සඳහා පනත් කෙටුම්පතට ප්‍රතිපාදන ඇතුළත් කිරීමේ අවශ්‍යතාවක් පවතිනවා.”