බස්නාහිර පළාත් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යයට නිකුත් කර ඇති බවට චෝදනාවක්

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් (01) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් (29) රාත්‍රියේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට චෝදනා එල්ල වනවා.

මේ සම්බන්ධයෙන් ගුරුවරුන් පිරිසක් (01) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කිරීමටද කටයුතු කර තිබුණා.

2023 වසර සඳහා වන වර්ෂ අවසාන ඇගයීම් විභාග මේ දිනවල බස්නාහිර පළාතේ පාසල් සිසුන් සඳහා පැවැත්වෙන අතර අද පැවැත්වීමට සැලසුම් කර තිබුණේ 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් සඳහා විද්‍යාව විෂය සඳහා වන විභාගයයි.

කෙසේවෙතත් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන 10 ශ්‍රේණියේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය සහ 11 ශ්‍රේණියට අදාළ විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය (29)රාත්‍රී 7.00 ත් 8.00 ත් අතර කාලයේදී සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.