ජුලි මාසයේදී සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව දින 45 කට වැසේ

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ දෛනික මෙහෙයුම් 2024 ජූලි මස සිට දින 45ක් දක්වා තාවකාලිකව අත්හිටුවා නඩත්තු කටයුතු සිදුකෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා.

වසර තුනකට වරක් යෙදී ඇති පරිදි අනිවාර්ය නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු සඳහා මෙලෙස පිරිපහදුව වසා දැමෙන බවයි නිවේදනයේ සඳහන් වන්නේ.

එමඟින් ඉදිරි වසර 03ක කාලයක් සඳහා සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ උපරිම නිෂ්පාදන ධාරිතාවය ද, ආරක්ෂිත සහ විශ්වසනීය ක්‍රියාකාරිත්වයක් ද අපේක්ෂා කෙරෙන බව සඳහන්.

පිරිපහදු කටයුතු අත්හිටවූවත්, අදාල කාලය තුල ප්‍රමාණවත් ඉන්ධන තොග ඇණවුම් කර උපරිම ධාරිතාවයෙන් පවත්වා ගෙන යන බවත්, කිසිදු බාධාවකින් තොරව පාරිභෝගිකයන්ට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සැපයීමට පියවර ගෙන ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.