HIV නව ආසාදිතයින් වාර්තාවීම 14% කින් ඉහළට

HIV නව ආසාදිතයින් වාර්තා වීම 14% පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.

පසුගිය වසරේදී නව HIV ආසාදිතයින් 694 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් වැඩි දෙනෙකු පිරිමි පුද්ගලයින් බවයි එහි අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ සඳහන් කළේ.

එම කාලය තුළ කාන්තාවන් 81 දෙනෙකු නව HIV ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර මේ වන විට සමාජ තුළ සිටින ඇස්තමේන්තුගත HIV ආසාදිතයින් සංඛ්‍යාව 4,100ක් පමණ වන බවයි ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරන්නේ.

වැඩි අවදානම් සහිත හැසිරීම් ඇති පුද්ගලයින් HIV පරීක්ෂණයක් සිදුකරගන්නා ලෙසත් ඒ සඳහා මැලිකමක් දක්වන පුද්ගලයින්ට ස්වයං පරීක්ෂණයක් සිදුකරගත හැකි අතර ඒ සඳහා පරීක්ෂණ කට්ටලයක් ඇනවුම් කර නොමිලේම ලබාගත හැකි බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ වැඩිදුරටත් සඳහන් කළේ.