මෛත්‍රීට නිවසක් දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණ​ය බලරහිත කරයි

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව අදාළ නිවස ලබාදීම සඳහා 2019 වසරේ ඔක්තෝම්බර් මස 15 වනදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වෙන්නේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෛත්‍රිපාල සිරිසේන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් තමන්ට හිමි වරප්‍රසාද පිළිබඳ තීන්දු තීරණ ගැනීම තුළින් ඔහු මහජන විශ්වාසය කඩකර ඇති බවත් ඒ තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.