මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වෙනස් අංශ තුනක් යටතේ නිර්දේශ ඉදිරිපත් කිරීමට අනු කමිටු 3 ක්

මෙරට මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වෙනස් අංශ තුනක් යටතේ නිර්දේශ ඉදිරිපත් කිරීමට අනු කමිටු 3 ක් පත් කිරීමට කටයුතු කළ බව මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පවසනවා.

එම එක් එක් අනු කමිටුවක් මගින් මැතිවරණ ක්‍රමය හා සම්බන්ධ ව්‍යවස්ථාපිත නීති රාමුව පිළිබඳ යෝජනා සලකා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බවයි එහි ලේකම් මාධව ‍දේවසුරේන්ද්‍ර සඳහන් කළේ.

එසේම තවත් අනු කමිටුවකින් මාධ්‍ය උපමාන, කාන්තා නියෝජනය ආදී කරුණු අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත අතර, අනෙක් අනු කමිටුවෙන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අපේක්ෂකයින්ගේ හා දේශපාලන පක්ෂවල කාර්යභාරය හා චර්යා ධර්ම පද්ධතියක් පිළියෙල කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම අනු කමිටු තුනෙන් නිර්දේශ ලැබුණු පසු නව මැතිවරණ ක්‍රමය සම්බන්ධ මූලික කෙටුම්පත සකස් කිරීම ආරම්භ කරන බවයි ලේකම්වරයා පවසා සිටින්නේ.

මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය අප්‍රේල් 15 වැනිදායින් අවසන් වීමට නියමිතව ඇති අතර, එදිනට පෙර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධ නිර්දේශ ඇතුළත් අතුරු වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාරදීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.