කුරුණෑගල රුධිර කාන්දුකරණ ඒකකයේ තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා තවත් විශේෂ කණ්ඩායමක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ ඇති වී ඇති තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා අද (26) දිනයේද විශේෂ කණ්ඩායමක් එම රෝහල වෙත යොමුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

දැනට එම රෝහල වෙත රුධිර කාන්දුකරණය සඳහා පැමිණෙන වකුගඩු රෝගීන් කුලියාපිටිය, දඹදෙනිය, පොල්පිතිගම සහ නිකවැරටිය රෝහල් වෙත යොමුකෙරෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මෙම ඒකකයේ ප්‍රතිකාර ලැබූ රෝගීන් කිහිපදෙනෙකු මියගොස් ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති අතර, ආරක්ෂිත පියවරක් ලෙස එම රුධිර කාන්දුකරණ ඒකකය මේ වනවිට තාවකාලිකව වසා දමා තිබෙනවා.