කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කරයි

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේ විශ්වාසයත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මේ විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ජී.ඇල්. පීරිස්, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි සහ ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබෙනවා.

මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පතේ 13, 17, 20, 33 (6), 34 (1),  35 (1), 21, 22, 31 වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති යෝජනා නොසලකා කටයුතු කර ඇති බවයි එම විශ්වාසභංග යෝජනාව තුළින් පෙන්වා දෙන්නේ.