වනිඳුට ICC යෙන් තරග දෙකක තහනමක්

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිදු හසරංගට තරග තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඇෆ්ඝනිස්තානය සමග පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් පසුව ඔහු විනිසුරු තීරණයකට විරෝධය පල කිරීමේ සිද්ධිය හේතුවෙන් මෙම තහනම පනවා ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම වරද නිසා ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණු 3 ක් පනවා ඇති අතර, මීට පෙර ද ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණු දෙකක් ඇතුළත්ව තිබුණා.

ඒ අනුව ඔහුගේ විනය වාර්තාවේ මාස 24 ක කාලයක් තුළ දඩුවම් ලකුණු ප්‍රමාණය මේ වන විට 5 ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් එම දඬුවම් ලකුණු ප්‍රමාණය අත්හිටුවීමේ ලකුණු දෙකක් (two suspension points) ලෙස පරිවර්ථනය වී තිබෙන අතර එය එක් ටෙස්ට් තරගයක තහනමකට හෝ එක්දින/ T20 තරග දෙකක තහනමකට සමාන වනවා.

මේ හේතුවෙන් වනිදුට එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනවා.

තරග තහනමට අමතරව වනිදු හසරංගට එරෙහිව තරග ගාස්තුවෙන් 50% ක දඩ මුදලක් ද නියම කිරීමටයි තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් පියවර ගෙන ඇත්තේ.